ඉරාන ප්‍රශ්නයට අත දාන්න එපා - ට්‍රම්ප්ගෙන් ජර්මනියට රතු එළියක්
ඉරානය සම්බන්ධයෙන් ඇතිව ඇති තත්ත්වය පිළිබඳ අදහස් පළ කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් වෙත අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙය සිදුව ඇත්තේ, අමෙරිකාව ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට මර්ස් විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
එමෙන්ම, ජර්මනියේ තැන්පත් කර ඇති අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අමෙරිකාව අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
තවද, නුදුරේදීම අමෙරිකාව ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බවටත් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
මේ අතර, ඉරානය පවසන්නේ අමෙරිකාව විසින් තම වරායන් අවහිර කිරීම “ඉවසිය නොහැකි” මට්ටමකට ළඟා වී ඇති බවයි.
එසේම, මසූද් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ හෝමුස් සමුද්‍රසන්ධිය තුළ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බවයි.
ඉරානයේ ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි විසින් නිකුත් කළ ලිඛිත නිවේදනයකින් ද අවධාරණය කර ඇත්තේ, හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින තත්ත්වය පාලනය කර ගල්ෆ් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම ඉරානයේ වගකීමක් බවයි.
එමෙන්ම, අමෙරිකානු මාධ්‍ය වාර්තා අනුව, පසුගිය ප්‍රහාරවලින් පසුව සුන්බුන් අතර සිරවූ හෝ පස් යට සැඟවුණු ආයුධ නැවත ලබාගැනීමට ඉරානය සටන්විරාම කාලය තුළ කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
තවද, අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තාවල දැක්වෙන්නේ, ඉරානය ඩ්‍රෝන සහ මිසයිල නිෂ්පාදනය තවත් වේගවත් කර ඇති බවයි.