ඇමෙරිකාවට එරෙහිව නෙවෙයි, ට්‍රම්ප් සමඟ සාකච්ඡාවක් ඕනෙයි - හර්ෂ
එළැඹෙන 2025 ජුලි 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලබන අන්‍යොන්‍ය තීරු බදු සම්බන්ධයෙන්, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවම බදු ප්‍රතිශතයක් ලබාගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉරිදා පුවත්පතකට පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අන්‍යොන්‍ය බදු පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රී ලංකාවට තරගකාරී තීරු බදු ප්‍රතිශතයක් ලබාගත හැකි වුවහොත් පමණක් එය සාර්ථකත්වයක් ලෙස සැලකිය හැකි බව මන්ත්‍රිවරයා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන පරිදි, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බද්දක් පනවා ඇති අතර, ඉන්දියාවට එය සියයට 26ක් පමණි. මේ අනුව, ශ්‍රී ලංකාව ඇමෙරිකන් බදු ප්‍රතිශතය අවම කරගත්තද, එය ඉන්දියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව තරගකාරී නොවන්නේ නම්, ආර්ථික ගැටලු රැසක් මතුවිය හැකි බව ඔහු පවසයි.
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පනවන බදු, ඉන්දියාවට පනවන බදුවලට වඩා වැඩි වුවහොත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික තරගකාරිත්වයට බලවත් බාධාවක් වනු ඇති බවත්, එවැනි තත්ත්වයක් රටට අහිතකර බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
මෙම අන්‍යොන්‍ය බදු සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා හරහා සාර්ථක වීමට ශ්‍රී ලංකාවට නොහැකි වුවහොත්, රට ආර්ථික වශයෙන් පරාජිත තත්ත්වයකට පත්වන බව මන්ත්‍රිවරයා අවධාරණය කළේය. ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සමඟ ඵලදායී “ඩීල්” එකකට එළැඹීම අවශ්‍ය බවත්, මේ දක්වා එවැනි ගිවිසුමක් සිදුව ඇති බවක් නොපෙනෙන බවත් ඔහු පැවසීය.
මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැවැන්ත ලෙස ප්‍රතිසංවිධානය කිරීමට මේ මොහොතේ අවස්ථාව උදාවී ඇති බවත්, ලෝකයට විවෘත ආර්ථික ප්‍රතිපත්ති සඳහා දැඩි අවශ්‍යතාවක් පවතින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
