මාලිමා මන්ත්‍රී ග්‍රාම සේවකට ගහලා දැඩි විරෝධයක් - පොලිසිත් යයි
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානන්දන් ඉලංකුමාරන් විසින් ගංවතුර ආධාර සැපයීමේ කටයුතු අතරතුරදී ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්, එම දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරීන් සතියක් පුරා කළු පටි පැළඳ විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බවට පුවතක් වාර්තා වේ.
ඒ අනුව එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ කිලිනොච්චි දිස්ත්‍රික් ශාඛාවට අනුව, කිලිනොච්චි/පරන්තන් හින්දු මහා විද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ සුබසාධන මධ්‍යස්ථානයකදී ආපදා සහන සම්බන්ධීකරණ රාජකාරිවල නිරතව සිටි උමයල්පුරම් ග්‍රාම නිලධාරී තියගරාජා කලෙයිරුබන් මහතාට අඳාළ ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
හදිසි රැස්වීමකින් පසුව දිස්ත්‍රික් සංගමය විසින් කළු පටි පැළඳීම 05 දින සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර, එය විරෝධතාවක් වශයෙන් ක්‍රියාත්මක වන බව පවසයි.
එමෙන්ම දිස්ත්‍රික්කය පුරා හදිසි මානුෂීය කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින්, මෙම තීරණයට පැමිණියේ අකමැත්තෙන් බව සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එසේම “සාධාරණ සහ නීත්‍යානුකූල විසඳුමක්” නොලැබුණහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔවුන් දැඩිව අවධාරණය කර ඇත.
මේ අතර ඊට සහයෝගය පළ කරමින් යාපනයේ ග්‍රාම නිලධාරීන් ද කළු පටි පැළඳ සිට ඇත. තවද, හදිසි නීති රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ වුවද, වේලනෛයි හි වෙනම ග්‍රාම සේවක කණ්ඩායමක් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිට කළු රිබන් පැළඳ විරෝධතාවක නිරත ව තිබෙනවා.
වේලනෛයි ග්‍රාම සේවකයන් සඳහන් කළේ අඳාළ සිද්ධිය, උතුරුකරයේ විශාල ප්‍රදේශ ගංවතුරට යට වී සම්බන්ධීකරණ සහන මත රඳා පවතින මොහොතක, අත්‍යවශ්‍ය පෙරටුගාමී නිලධාරියෙකු ඉලක්ක කර ගත් ප්‍රහාරයක් බැවින් වීදිවලට බැසීමට සිදුවූ බවයි.
ඒ අනුව විරෝධතාකරුවන් පවසන ආකාරයට, අඳාළ ගැටුම ආරම්භ වූයේ ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පරන්තන්හි ගංවතුර සහන මධ්‍යස්ථාන වෙත පිටතින් ගෙන එන ලද පිසූ ආහාර පාර්සල් බෙදා හැරීමට උත්සාහ කිරීමත් සමඟයි.
එබඳු ආහාර පරිභෝජනයට ආරක්ෂිත දැයි තහවුරු කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කිරීම සම්මත ක්‍රියා පටිපාටිය බව ග්‍රාම නිලධාරීන් පවසයි.
එහෙත් මන්ත්‍රීවරයා “අත්තනෝමතික ලෙස ඒවා බෙදා හැරීමට උත්සාහ කළ” බවත්, එය ආරවුලකට තුඩු දුන් බවත්, එම අවස්ථාවේදී ග්‍රාම නිලධාරියාට පහර දුන් බවත් ඔවුන් චෝදනා කරයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම විරෝධතාව පැවැත් වෙන්නේ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් බලපා ඇති, උතුරු-නැගෙනහිර අවතැන් වූ දහස් ගණනක් පවුල් සඳහා සහාය දක්වමින් සිවිල් සේවකයන් දැනටමත් දැඩි වෙහෙසට පත්ව සිටින අවස්ථාවකයි.