ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර දරුණු වාග් සංග්‍රාමයක්ද ඇතිවුණාද? - විදෙස් මාධ්‍ය හෙළිකරයි
ඉරානයට එරෙහිව යළිත් හමුදා ප්‍රහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මතභේදය හමුවේ නායකයන් දෙදෙනා අතර පසුගිය සති අන්තයේ පැවති දුරකථන සංවාදය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්ව ඇති බව ඊශ්‍රායලයේ Ynet News වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව, ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කළ යුතුද යන්න පිළිබඳව දෙරටේ නායකයන් අතර මෙම මතභේදය ඇතිව තිබේ. අදාළ දුරකථන සංවාදය ඉතා උණුසුම් වාග් සංග්‍රාමයක් දක්වා වර්ධනය වූ බව ද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ නායකයන් දෙදෙනා අතර එවැනි උණුසුම් සංවාදයක් සිදු නොවූ බවය.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් සහ පදනම් විරහිත පුවතක් බව ද නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර තිබේ. තවත් ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙකු ද සංවාදය පැවති බව තහවුරු කරමින් එය ගැටුම්කාරී එකක් නොවූ බව පවසා ඇත.
මේ අතර, ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර මීට පෙර ද අවස්ථා කිහිපයකදී මතභේදාත්මක දුරකථන සංවාද ඇතිව තිබේ. ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් යළි ගොඩනැගීමට එරට කටයුතු කරමින් සිටින බව නෙතන්යාහු පසුගිය අඟහරුවාදා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පැවති දිවුරුම් දීමේ උත්සවයකදී ප්‍රකාශ කර තිබුණි.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඉරානයෙන් එල්ල වන පැවැත්මට තර්ජනයක් වන අවදානම ස්ථිරවම තුරන් කළ හැකි එකම ක්‍රමය එරට ආගමික නායකත්වය පෙරළා දැමීම බවය.
නෙතන්යාහු ඉරානයට එරෙහිව යළිත් ප්‍රහාර ආරම්භ කරන ලෙස ට්‍රම්ප්ට බලපෑම් කරමින් සිටින බව ද මීට පෙර Financial Times පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව, ඉරානයට එරෙහි යුද මෙහෙයුම් යළි ආරම්භ කරන ලෙස ඉල්ලා නෙතන්යාහු දිනපතාම පාහේ ට්‍රම්ප් අමතන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ධවල මන්දිරය තුළ මෙන්ම ඉන් පිටත ද යළි යුද්ධයක් ආරම්භ කිරීමට විරෝධය පළ කරන පාර්ශ්ව සිටින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, ට්‍රම්ප්ගේ ප්‍රමුඛතාව වී ඇත්තේ ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යාම සහ ආර්ථික පීඩනය තවදුරටත් පවත්වාගෙන යාමයි. පසුගිය ඉරිදා පැවති '60 Minutes' වැඩසටහනේදී ඉරානය සමඟ යළි යුද්ධයක් ආරම්භ කරන්නේදැයි කළ විමසීමකදී ට්‍රම්ප් පවසා ඇත්තේ ඒ සඳහා හේතුවක් ඇතැයි තමන් නොසිතන බවය.
ඒ අනුව, ඉරානය සම්බන්ධයෙන් ඊශ්‍රායලය යළි හමුදා ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කරන අතර ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ ආර්ථික පීඩනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම දෙරටේ නායකයන් අතර මතභේදයට හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.