ත්‍රිකුණාමලයම උණුසුම් කරමින් ඇති වූ හදිසි කලබලය.. (VIDEO)

By Sithumi May 14, 2023 04:53 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට සියම් මහානිකාය ස්ථාපිත කර වසර 270ක් සපිරීම සිහිකරමින් සංවිධානය කළ ආගමික වැඩසටහනකට විරෝධය කළ කණ්ඩායමක් ත්‍රිකුණාමලය ‍බෝගස් හතර පුරාවිද්‍යා ස්ථානයේ ඊයේ (13) සිට විරෝධතාවක නිරතවුණා.

  කෙසේවෙතත් ඊට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ විරෝධය පළ වූ අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා යුදහමුදාව යෙදවීමටද පියවර ගැනුණා.

සියම් මහා නිකාය මෙරට ස්ථාපනයකර වසර 270ක් සපිරීම වෙනුවෙන් තායිලන්තයේ සිට මුහුදු මාර්ගයෙන් භික්ෂූන් වහන්සේ  ත්‍රිකුණාමලයට වැඩම කර ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුනු අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම ආගමික වැඩසටහන සංවිධාන කර තිබුණේ මීට වසර 270කට පෙර සියම් මහා නිකාය ස්ථාපනය කිරීමට තායිලන්තයේ සිට භික්ෂූන් වැඩම කළ අයුරු යළි සිහිගන්වමන්ඒ.

අනුව, තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේ 50 නමක් මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයට අද (14) වැඩම කර එහි සිට පාගමනින් බෝගස් හතර දක්වා පැමිණ එහි ආගමික වතාවත් සිදුකිරීමට සැලසුම් කර තිබුනු අතර උන්වහන්සේ ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානය දක්වා පාගමනින් වැඩමකිරීමට සැලසුම් කර තිබුණේ ඉන් අනතුරුවයි කෙසේවෙතත් ත්‍රිකුණාමලය බෝගස් හතර නම් ස්ථානයට ඊයේ පැමිණි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊට විරෝධය කළ අතර විරෝධතාවයේ නියැලුණු පිරිස එහි අට්ටාලයක්ද ඉදිකරමින් රාත්‍රියේ එහි රැඳීසිට තිබෙනවා.

මෙවැනි වාතාවරණයක භික්ෂූන් වහන්සේ වැඩම කර පැවැත්වීමට නියමිත වැඩසටහනේ යම් වෙනස්කමක් සිදුකර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සභාපති ශන්මුගම් කුහදාසම් සඳහන් කළ අතර මේ බව සැලවීමත් ඊට විරෝධය දක්වමින් භික්ෂූන් වහන්සේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඔරලෝසු කණුව අසලට අද (14) පෙරවරුවේ රැස්වුණා.

පිරිස පාගමනින් බෝගස් හතර දෙසට යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ ඔවුන් වැළැක්වීමට උත්සාහ කළත් පිරිස එය නොතකමින් ඉදිරියට ගමන් කළ බව අප වාර්තාකරු පැවසුවා.

බෝගස් හතර අසලට පිරිස ළඟාවන විට එහි විරෝධය පළකරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිස ඉවත්ව ගොස් සිටි බවයි. අනතුරුව එහි වැඩි භික්ෂූන් වහන්සේ සහ සෙසු පිරිස එහි ආගමික වතාවත්වල නිරතවුණු අනතුරුව පිරිස විසිර ගියා.

මේ අතර තායිලන්තයේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේ ත්‍රිකුණාමල වරායේ සිට බස් රථයකින් ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයට වැඩම කරවීමට පියවර ගෙන තිබුණු අනතුරුව උන්වහන්සේ ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතවුණි