යුද්ධයේ බලපෑමෙන් ලෝක තෙල් මිල ඉහලටම
දැනට හෝමූස් සන්ධිය හරහා තෙල් ටැංකි ගමනාගමනය බොහෝමයක් අඩාල වී ඇති අතර, චීනය සහ ඉරාන අනුබද්ධ නැව් කිහිපයක් පමණක් ඒ හරහා ගමන් කරයි. යුද්ධය නිසා පර්සියානු ගල්ෆ් තෙල් නිෂ්පාදනයද බලහත්කාරයෙන් අඩු වී ඇති අතර, පිරිපහදුවලට හානි සිදුවී තිබේ.
ගෝලීය තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බැරලයකට මෙම සතිය මුලදී ඩොලර් 114 දක්වා ඉහළ ගොස් තිබේ. ට්‍රම්ප් පාලනාධිකාරය ඩොලර් 200 දක්වා ඉහළ යාමේ ආර්ථික බලපෑම පිළිබඳවද සොයා බලමින් සිටී.
ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට ආරක්ෂාව සැපයීමේ නමින් ගාස්තු අය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරමින් සිටී.
අර්ධ-නිල ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සියට අනුව, ලබන සතිය තුළ කෙටුම්පත් පනත සකස් කිරීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, එය ඉක්මනින්ම ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
නම් නොකළ නීති සම්පාදකයෙකුගේ අදහස් උපුටා දක්වමින් ෆාර්ස් පවසා ඇත්තේ,
“හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානයේ ස්වෛරීභාවය, පාලනය සහ අධීක්ෂණය විධිමත් ලෙස නීතියෙන් පිළිගැනීම සඳහා අපි යෝජනාවක් අනුගමනය කරමින් සිටිනවා. ඒ සමගම ගාස්තු එකතු කිරීම හරහා රටට නව ආදායම් මාර්ගයක්ද නිර්මාණය වේ” යනුවෙනි.
මැදපෙරදිග යුද්ධය සිව්වන සතිය අවසන් වන විට, ලෝක තෙල් ප්‍රවාහනයේ අතිශය වැදගත් මාර්ගය වන හෝමූස් සන්ධිය සඳහා ගාස්තුවක් විධිමත් කිරීමට ඉරානය ගත් මෙම පියවර විශේෂ අවධානයට ලක්ව තිබේ.