මෙරට කෘෂිකර්මාන්තයට චීනයෙන් උසස් තාක්ෂණික සහාය
මෙරට කෘෂිකර්මාන්තයට චීනයෙන් උසස් තාක්ෂණික සහාය: තානාපති වේයි හුවාෂියැං සහ අමාත්‍ය ලාල් කාන්ත අතර හමුවක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උසස් තාක්ෂණික සහයෝගය ලබාදීමට චීනය සූදානම් බව මෙරට චීන තානාපති වේයි හුවාෂියැං මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (14) හමුවූ අවස්ථාවේදීය. එහිදී හරිතාගාර වගාවන්, සුහුරු කෘෂිකර්මාන්තය , මුහුදු ජලයේ වගා කළ හැකි දෙමුහුන් වී ප්‍රභේද සහ ජංගම යෙදවුම් මඟින් පස හා ආර්ද්‍රතාවය මැනගැනීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීම කෙරෙහි චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් සමගාමී සංවර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපතිවරයා, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මේ අතර සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව දැනටමත් සහලින් ස්වයංපෝෂිත බවත් බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශීයව නිෂ්පාදනය කරන බවත්ය.
මෙරටට අවශ්‍ය බොහොමයක් ගොවිපල යන්ත්‍රෝපකරණ ආනයනය කරන්නේ චීනයෙන් බවත්, ශ්‍රී ලාංකික ගොවීන් වෙනුවෙන් ලබාදෙන තාක්ෂණික පුහුණුවීම් සහ වාරි ව්‍යාපෘති සඳහා ලබාදෙන දායකත්වය වෙනුවෙන් චීන රජයට ස්තූතිය පුදකරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.