දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයෙන් මියගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුකෙරේ
දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනාගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකර තිබේ.
පසුගිය 11 වැනිදා අලුයම 3.00ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ නිවසේ දොරට තට්ටු කර ඇති බවයි. නිවැසියන් දොර විවෘත කිරීමෙන් අනතුරුව සැකකරු නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ 11 හැවිරිදි බාල සහෝදරයා වන දුමින්ද ගිහාන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මව් සෙනෙහස අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු මෙම දරුවන් දෙදෙනාගේ අකල් වියෝව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි ශෝකයක් ඇතිකර තිබේ.
ප්‍රහාරයෙන් ඔවුන්ගේ 55 හැවිරිදි පියාගේ පාදයකටද තුවාල සිදුව ඇති අතර, ඔහු මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. කෙසේ වෙතත්, ඔහු සම්බන්ධයෙන් කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය තහවුරු කර ඇත.
මූලික විමර්ශනවලදී පොලීසිය සැක පළ කර ඇත්තේ, අදාළ ප්‍රහාරය වැරදි නිවසක් ඉලක්ක කර එල්ල වූවක් විය හැකි බවයි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති සැකකරුවන්, නිවස මාරු වී තිබීම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්
ප්‍රහාරය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයද පවත්වා ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.