මේ රාජ්‍ය සේවකයන් සැලසුම් කළ පරිදි 17 සහ 18 දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ වැඩවර්ජනය ගැන දැනුම්දීමක්
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ සැලසුම් කළ පරිදි සංකේත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසයි.
ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර මහතා අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වෘත්තීය සමිති නායකයින් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම වත්මන් සාමාන්‍යාධිකාරීවරයාගේ පාලනය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බැවින් ඔහු වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බව වෘත්තීය සමිති අවධාරණය කළේය.
සාකච්ඡාවට එක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා වෙත නිදහසට කරුණු විමසීමේ ලිපියක් නිකුත් කිරීම නිවැරදි නොවන බව පිළිගත්ත ද, සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම පිළිබඳ අවසන් තීරණයකට තවදුරටත් කාලය අවශ්‍ය බව පවසා තිබේ.
කෙසේ වෙතත්, වසර දෙකකට ආසන්න කාලයක් පවතින මෙම ගැටලුව සඳහා තවදුරටත් කාලය ලබා දිය නොහැකි බව පවසමින් වෘත්තීය සමිති එකී යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව නැවත ගොඩනැඟීම සහ මගී සේවාවන් විධිමත් කිරීමේ අරමුණින් දෙදින සංකේත වැඩ වර්ජනය නොවෙනස්ව ඉදිරියට ගෙන යන බව වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.