අඹ කිලෝවක් ලක්ෂ 3යි..ගහ රකින්න බල්ලෝ 12ක් යොදන අපූරු වෑයම..!! (PHOTOS)
අඹ කියන්නේ බාල මහලු ඕනෑම කෙනෙක් කන්නට වඩාත් ප්‍රිය කරන පළතුරක් නේ. ඉතින් ලංකාවේ විවිධ වර්ගයේ අඹ වර්ග ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. ඒ අඹ අතරින් වැඩිම මිලකට අලෙවි වන අඹ වර්ගත් තියෙනවා. සාමාන්‍ය අඹ ගෙඩියක් රුපියල් 50 ක් 60 ක් වුණත් ලංකාවේ වැඩිම මිලකට අලෙවි වන අඹ වර්ගත් තියෙනවා.
වැඩිම මිලකට ලංකාවේ අලෙවි වෙන්නේ අල් අපොන්සු අඹ. ලංකාවේ මේ වර්ගයේ අඹ කිලෝවක් රුපියල් 600 ක් විතර වෙනවා. නමුත් කිලෝ එකක් ලක්ෂ 3 කට අලෙවි වන අඹ වර්ගයක් ගැන ඔබ අහලා තියෙනවා ද?. එක් අඹ ගෙඩියක් 3500 ක් පමණ වෙන මේ අඹ විශේෂය ලෝකයේ තියෙන මිලෙන් අධිකම අඹ වර්ගයක්. ඉතින් මේ තරම් වටිනා ඒ අඹ වර්ගය ගැන තමයි අද කියන්නට යන්නේ.
ලෝකයේ තියෙන මිලෙන් අධිකම අඹ වර්ගය වන මේ අඹ වර්ගය නම් කරන්නේ Miyazaki mangoes යන නමින්. බිත්තරයක හැඩය ගැනීමත් දීප්තිමත් රතු පැහැයත් නිසා මෙය තයියෝ නො ටොමාගෝ නැත්නම් හිරුගේ බිත්තරය ලෙසටත් හඳුන්වනු ලබනවා. ජපානයේ කියුෂු ප්‍රාන්තයේ මියාසාකි නගරයේ වගා කරන මේ අඹ ප්‍රභේදය ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ ජනප්‍රිය වන සාමාන්‍ය අඹ ප්‍රභේදවලට වඩා එය පෙනුමෙන් ද වර්ණයෙන් ද වෙනස් වෙනවා.
මේ අඹවල ඉතිහාසය ගැන කතා කළොත් එය 70 දශකයේ අග භාගයේ සහ 80 දශකයේ මුල් භාගයේ දී මියාසාකිහි මේ අඹ නිෂ්පාදනය ආරම්භ වෙලා තියෙනවා.නගරයේ උණුසුම් කාලගුණ තත්ත්වය, අධික වර්ෂාව මේ අඹ වගාවට යෝග්‍ය ලෙස පැවති බවයි සඳහන් වෙන්නේ. නමුත් 1980 ගණන්වල මේ මියාසාකි අඹ රෝපණය ප්‍රසන්න වගේම සාර්ථක ආරම්භයක් නොවුණු වග ඉතිහාසය දෙස බැලීමේ දී දැන ගන්නට හැකියාව ලැබෙනවා.
ඒ අඹවල පොත්තේ කළු පැහැය වගේම රසය ගොවීන් මුහුණ දුන් අභියෝගය වුණා.නමුත් පසුව ඒ අඹවල අනිත් අඹ ප්‍රභේදවලට වඩා ප්‍රසන්න සුවඳක් වගේම මිහිරි රසයක් ද ඇති බව සොයා ගත්තා. 1980 වෙද්දි ඒ අඹවල අස්වැන්න නෙළීම ආරම්භ කළ අතර ඒ අඹවලට ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩි වටිනාකමක් හිමිවුණා. දේශගුණය අංශක 15 ට වඩා පහත වැටෙන විට හරිතාගාරයක මේ අඹ වගා කරනු ලබනවා. අද වෙද්දී මියාසකිහි ප්‍රධානතම නිෂ්පාදනය වෙන්නේ මේ මියාසාකි අඹ වන අතර එය රට පුරා බෙදා හැරීමට ප්‍රථම දැඩි පරීක්ෂණයට ලක් කරනු ලබනවා.
අස්වැන්න නෙළීමෙන් පසුව ගොවීන් නැවත වරක් අඹයේ රස, බර, හැඩය සහ වර්ණය ආදී සියලු සාධක පරීක්ෂා කරනු ලබනවා. මොකද ජාත්‍යන්තර වෙළඳපොලෙන් ග්‍රෑම් 350 ට අඩු අඹ සහ නිසි සීනී ප්‍රමාණයක් නැති අඹ ඉවත් කරන නිසා. සම්පූර්ණයෙන්ම ඉදුණු පසුව නැව්ගත කරන නිසා ඒවා ප්‍රවේශමෙන් තනි තනිව ඇසුරුම් කරනු ලබයි. ඒ වගේම ඒවා ඉතා සියුම්. එබැවින් වෙළඳපොළට සහ සිල්ලර වෙළෙන්දන්ට යැවීමට පෙර එකින් එක ප්‍රවේශමෙන් ඇසුරුම් කරනු ලබනවා.
මේ අඹ ස්වාභාවිකව වැටෙන තුරු බලා සිටින අතර ඊට පෙර ඒවා කඩාගනු ලබන්නේ නැහැ. තායිතෝ නො ටැමාගෝ කියන සුපිරි සාප්පු සංකීර්ණයේ ගබඩා කරන්නේ සීනි ප්‍රමාණය 15% ට වැඩි ලස්සන රතු පැහැ වර්ණය ඇති නොකැළැල් අඹ පමණයි. මේ අඹවල බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 350 ට වඩා වැඩි අතර එහි සීනි ප්‍රමාණය 15% ක් හෝ ඊට වඩා වැඩි වෙනවා. ඒ නිසා සාමාන්‍ය අඹවලට වඩා වැඩි ප්‍රණීත රසයකින් යුක්ත බව සඳහන් වෙනවා.
ජපානයේ මියසාකි වෙළඳ ප්‍රවර්ධන මධ්‍යස්ථානයට අනුව මේ අඹ වැඩෙන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළයි. ජපන් වෙළඳ ප්‍රවර්ධන මධ්‍යස්ථානයට අනුව මියාසාකි කියන්නේ අග්නිදිග ආසියාවේ බහුල ලෙස වගා කරන “පෙලිකන් අඹ”වලට වඩා වෙනස් “අර්වින් අඹ” විශේෂයක් වෙනවා. පිට පොත්ත රතු පැහැයෙන් යුතු මේ මියාසාකි අඹ ජපානය පුරාම නැව් ගත කරන අතර මේ අඹවල අඩංගු පෝෂ්‍ය කොටස් ද මේ අඹවල මිල අධික වෙන්නට හේතුවී තියෙනවා.
මේ අඹවල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන අතර බීටා කැරොටීන් සහ ෆෝලික් ඇසිඩ් අඩංගු වෙනවා. ඒ විතරක් නොවෙයි විඩාපත් ඇස්වලට, ඇස්වල පෙනීම වර්ධනයටත් මේ අඹ ඉතාමත් සුදුසු බව රේඩ් ප්‍රවර්ධන මධ්‍යස්ථානය පවසනවා. 2019 වසර වෙද්දි මියාසාකි අඹා ගෙඩි දෙකක් වෙන්දේසි වී තිබුණේ රුපියල් ලක්ෂ 2.70 කටයි. මියාසාකි අඹවල උපත ජපානයේ වුණත් වර්තමානයේ එය තායිලන්තය ,ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, පිලිපීනය යන රටවල බහුලව වගා කෙරෙනවා.
මේ ශාකයේ ප්‍රජනනය සඳහා බද්ධ කිරීමේ ක්‍රමය භාවිතා කරනු ලබනවා. පලතුරු ඉදවීමට පෙර සෑම පලතුරක්ම දැල්වලින් ආවරණය කරනු ලබනවා. ඉතින් සෑම අතින්ම සුවිශේෂීත්වයන් ඇති නිසා මේ මියාසාකි අඹ ලෝකයේ මිලෙන් අධිකම අඹ ප්‍රභේදය විදියට සලකනු ලබනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ යුවළක් ආරක්ෂක භටයන් සහ සුනඛයන් 12 ක් යොදා ගනිමින් මේ අඹ ගස ආරක්ෂා කරනු ලබන බවට වාර්තා වෙනවා.
ඒ යුවළ පවසන්නේ ඒ අඹ පැලෑටිය දුම්රියේ දී පුද්ගලයෙක් ලබාදුන් බවයි . ඔවුන්ගේ ගෙවත්තේ මෙවැනි අඹ ගස් දෙකක් දකින්නට තියෙනවා. ඉතින් මේ අඹ බොහෝවිට වගා කරන්නේ ඊට සුදුසු පාරිසරික තත්ත්වයන් යටතේ හරිතාගාරවල. කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්නට නියමිත කාලයේ දී පොලිතින් කවරවලින් ආවරණ කරනු ලබනවා. ඉතින් අඹ ගෙඩිය ක්‍රමයෙන් වැඩෙද්දී යොදන දැල් ආවරණය නිසා ගෙඩිය නටුවෙන් ගිලිහීයාමේදී වැටීමෙන් තැලීම්වලට ලක්වෙන්නේ නැතිව ඒ දැලෙහිම රැඳී පවතිනවා.
ඉතින් ඒ වගේම මේ ඉතාමත් රසවත් අඹ භාවිතා කරමින් බොහෝ රසකැවිලි ඇතුළු නිෂ්පාදන ද සකසනු ලබනවා.ඉතින් සාමාන්‍ය අඹවලට වඩා රසයෙන් වැඩි ගුණයෙන් වැඩි ආකර්ෂණීය වර්ණයෙන් යුත් මේ අඹ ගෙඩියක රස බැලීම බහුතරයකට හීනයක්ම විතරයි. මොකද අඹ ගෙඩියක් වෙනුවෙන් එතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නට හැකියාවක් බහුතරයකට නැති නිසා. කොහොමවුණත් ලෝකයේ මිලෙන් අධිකම රසයෙන් වැඩිම සුවිශේෂී මියාසාකි අඹ ගෙඩියක ඇටයක් නැති බවත් පැවසෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










