මොළය මියගිය විහඟනාගේ හදවත හා පෙනහලු බද්ද කළ වෛද්‍යවරිය මිය යයි. - ආන්දෝලනාත්මක කතා රැසක් මතු වෙයි.

Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi May 01, 2023 11:01 AM GMT
Wayomi

Wayomi

Report

 පසුගිය මාර්තු මාසයේ මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට බද්ධ කරනු ලැබුවා. ඒ ක්‍රියාව බොහෝදෙනෙකුගේ ඇගයීමටද ලක්වුණා.

කෙසේ නමුත් දැන් වාර්තා වන්නේ එම සැත්කම අසාර්ථකවීමෙන් පසුව 46 හැවිරිදි වෛද්‍යවරිය සංකූලතා සහිතව දිගටම දැඩි සත්කාර ඒකකයේ රැඳී සිට සැත්කමෙන් මසකට පමණ පසුව පෙරේදා (29) මියගිය බවයි.

කළුබෝවිල රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරියට සැත්කම සිදු කර තිබුනේ මෙරට සහ ඉන්දියානු හෘද උරස් ශල්‍ය වෛද්‍යවරුන් නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු පිරිසකි.

ඉකුත් මාර්තු මස 23 වැනිදා කොළඹ ජාතික රෝහලේ දී මෙම සැත්කම් කර තිබූ අතර හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ වෛද්‍යවරියට විහඟනා ආරියසිංහ සිසුවියගේ අවයව ලබාගැනීමට හැකිවීම මහත් අස්වැසිල්ලක්වී තිබුණි.

කෙසේ වෙතත් වෛද්‍යවරියට සැත්කම සිදුකළ ආකාරය ගැන දැන් සෞඛ්‍ය අංශ අභ්‍යන්තරයේ විවිධ විවේචන පවතී.

ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව 2017 සිදු කළ ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ සේවය ලබාගන්නට හැකියාව තිබියදීත් ඔහු මීට සම්බන්ධවීමට කැමැත්ත පළ කර තිබියදීත් ඔහුව ප්‍රතික්ෂේප කරමින් සැත්කම සිදු කර තිබීම ගැන එම විවේචන මගින් තොරතුරු කියැවේ.පළමු සැත්කමට භාජනය වූ තැනැත්තා තවම යහපත් සෞඛ්‍ය තත්වයෙන් දිවි ගෙවයි.

ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමඟ එක්ව මෙකී වෛද්‍යවරියගේ සැත්කම සිදු කර තිබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය අනුග්‍රහයෙන් ඔවුනට විශාල වියදමක් දරා මෙරට සුපිරි නවාතැන් ස්ථානවල පහසුකම් ද සලසමින් බවටත් රෝගියාට සංකූලතා ඇතිවීම ගැන සොයා බලා නැති බවත් එමෙන්ම ඇය මිය යන අවස්ථාව වන විට ඔවුන් විදෙස්ගතව සිට ඇති බවත් වාර්තා වේ.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියගේ මරණය සැත්කමේ සංකූලතාව හේතුවෙන් සිදු වූවක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදු වූවක් ද යන්න සොයා බැලීම සඳහා කොළඹ ජාතික රෝහල මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. මෙම සැත්කම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදෙන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණ බවද වාර්තාවේ.

- මව්රට -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW