අල්ලස් ගත් නිලධාරියාට සිදු වුණු දේ....
අල්ලස් මුදලක් ලබාගත් බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොරාන බීට්ටු වන කාර්යාලයේ සේවයේ නිරතව සිටි බීට්ටු වන නිලධාරියෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සැකකාර බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.
පැමිණිලිකරු සහ ඔහුගේ ඥාතියෙකු විසින් බක්මිටියාවත රතුගලයාය නමැති ඉඩමක 2005 වර්ෂයේ සිට හේන් වගාවක් සිදුකර තිබෙන අතර, එය පරීක්ෂා කිරීමට සැකකාර බීට්ටු වන නිලධාරියා පැමිණ තිබෙනවා.
එහිදී බීට්ටු වන නිලධාරියා ඔවුන්ට අනවසරයෙන් හේන් වගාව සිදු කිරීමේ චෝදනාවට නඩු පැවරීම සිදු කළහොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන බැවින් අඩු දඩ මුදලක් ගෙවීමට නියමවන ලෙස ඉඩම් ප්‍රමාණය වෙනස් කර නඩු පවරා දෙන බව පවසා තිබෙනවා.
පැමිණිලිකරු අල්ලස් කොමිසමට පවසා ඇත්තේ එසේ නඩු පැවරීමට එක අයෙකුගෙන් රුපියල් 25,000ක් බැගින් වූ අල්ලස් මුදලක් ඉල්ලූ බවයි.
එම කාර්යාලය තුළදී ඊට අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීයි මෙම සැකකාර බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර නිලධාරියා මූලික විමර්ශනවලින් අනතුරුව සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
