පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ගේ නඩුවට ලැබුණු අලුත්ම අධිකරණ නියෝගය මෙන්න
ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට පත් කර පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි 05 වැනිදා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (10) නියෝග කළේය.
2021 මාර්තු 02 වැනිදා ලසන්ත අබේවර්ධන නමැත්තා ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී එම රථය අනතුරට පත් කර ඔහුට පහරදීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
අදාළ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය අද දින පැවැත්වීමට නියමිතව තිබුණද, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට කොළඹ මහාධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට සිදුව ඇති බැවින් අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී තිබේ.
ඒ අනුව, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. මේ අතර, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට සෑම මාසයකම පළමු සහ තෙවන සතිවල පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීමට සිදුවන බැවින් එම කාලසීමාවන් හැර වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විත්තියේ සාක්ෂි විභාගය සඳහා නඩුව ලබන ජනවාරි 05 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.