මහනුවර දුම්රිය ගමනාගමනයේ දැවැන්ත වෙනසක් - මහවැලි ගඟ හරහා ඉදිවන නව දුම්රිය පාලමට කැබිනට් අනුමැතිය
මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීමේ අරමුණින්, සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් උප නාගරික දුම්රිය ප්‍රවාහන ජාලයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
මෙම සංවර්ධන වැඩසටහනට පේරාදෙණිය හරහා කඩුගන්නාව සහ ගම්පොළ අතර ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම මෙන්ම, පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා දිවෙන මාතලේ දුම්රිය මාර්ගය ද ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම ඇතුළත් වේ.
දැනට පවතින තනි දුම්රිය මාර්ග පද්ධතිය හේතුවෙන් දුම්රිය ධාවන ධාරිතාව සීමා වී ඇති බැවින්, එම බාධා අවම කර දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ මාර්ග සම්බන්ධතාව ඉහළ නැංවීම මෙම සංවර්ධන කටයුතුවල ප්‍රධාන අරමුණ වී තිබේ.
මේ අතර, 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් යළි ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දියාව ලබාදීමට අපේක්ෂිත ණය ආධාර වැඩසටහන යටතේ නව දුම්රිය පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ද සැලසුම් කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.