ගෙවල්වල කුණු එකතු කිරීම සීමා වෙයි - රජයේ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහනෙන් හදිසි කැබිනට් තීරණයක්
රජයේ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ බස්නාහිර සහ දකුණු පළාත්වල ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන විසින් හඳුනාගනු ලබන තෝරාගත් වීදිවල කාබනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාව අත්හිටුවීමට නියමිතය.
ඒ වෙනුවට නිවාස මට්ටමින්ම කොම්පෝස්ට් නිෂ්පාදනය හරහා ජෛව හායනයට ලක්විය හැකි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇත.
ඒ අනුව, තෝරාගත් ප්‍රදේශවල නිවාස සඳහා තම පරිශ්‍රය තුළම කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත්කර ගැනීමට අවශ්‍ය කොම්පෝස්ට් බඳුන් නොමිලේ හෝ වැඩසටහන යටතේ ලබාදීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක කරන අතර, එහි සාර්ථකත්වය අනුව අනෙකුත් පළාත්වලට ද ව්‍යාප්ත කිරීමට නියමිතය.
2027 සිට 2029 දක්වා වසර තුනක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ‘පිරිසිදු ශ්‍රී ලංකාව - පිවිතුරු පුරවර’ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. රජයේ හඳුනාගැනීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍යවලින් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් ජෛව හායනයට ලක්විය හැකි කාබනික ද්‍රව්‍යවලින් සමන්විත වේ.
එම අපද්‍රව්‍ය ගෘහස්ථ මට්ටමින්ම කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීම තුළින් අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ අවසන් බැහැර කිරීම සඳහා වැය වන පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිවාස හිමියන්ට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සහ දැනුම ලබාදීමටත්, එහි ප්‍රගතිය පළාත් පාලන ආයතන මඟින් අධීක්ෂණය කිරීමටත් සැලසුම් කර තිබේ.
ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.