කවුද මේ සුනිල් පෙරේරා..? මෙම අසහාය මිනිසා ගැන දැනගනිමු..(PHOTOS)

By Sewvandhi Sep 06, 2021 03:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මෙලොව එළිය දකින්නේ 1952 වසරේ සැප්තැම්බර් 14 වන දින මොරටුවේදි යි. හිටපු යුධ හමුදා නිලධාරියෙකු සහ රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වන ඇන්ටන් පෙරේරා සුනිල් පෙරේරාගේ පියාණන් වූ අතර ඩොරීන් පෙරේරා ඔහුගේ මව යි.

සොයුරු සොයුරියන් දහ දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලබන සුනිල් පාසලේ හතර වෙනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. ඉන් අන්තුරු ව ඔහු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් වෙනවා.

කුඩා කල සිට සංගීතයට ඇලුම් කරන සුනිල් ගිටාර් වාදනය ආරම්භ කරන්නේ වයස අවුරුදු එකොළහේදි යි. ඔහු ප්‍රවීණ ගිටාර් වාදකයින් වන වින්සන් ජයවර්ධන සහ ජෝර්ජ් ෆර්ඩිනැන්ඩු යටතේ සිය හැකියාවන් ඔපමට්ටම් කර ගන්නවා. 1969 වර්ෂයේ දී පාසලෙන් ඉවත් වූ සැනින් සිය පියාණන් ආරම්භ කළේ ජිප්සීස් සංගීත කණ්ඩායම හරහා කණ්ඩායම් සංගීතයට යොමු වෙනවා.

ඔහු නව ආරකින් මෙරට සංගීත ක්ෂේත්‍රය ආක්‍රමනය කිරීමට පටන් ගන්නේ සිය සොයුරු පියල්,නිහාල්,ලාල්, නිමල් සහ සිය ඥාති සහෝදරයන් කීපදෙනෙක් සමඟ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ යි. එතෙක් යල් පැනගිය, සාම්ප්‍රදායික ගමන් මඟක යමින් තිබූ මෙරට කන්ඩායම් සංගීතය ජිප්සීස් සංගීත කණ්ඩායමේ ආගමනයත් සමග උඩුයටිකුරු වෙනවා.

මෙරට සුවහසක් සංගීත රසිකයන් අතර අදටත් එක සේ අතිශය ජනප්‍රිය වේග රිද්ම ගීත රැසක් සුනිල් පෙරේරාගේ ගැඹුරු හඬින් සංගීත රසිකයින්ට පිරිනැමුණා. ලිඳ ළඟ සංගමය, කුරුමිට්ටෝ, අම්මා අම්මා, තාත්ත මට ඇනපු ටොක්ක, අංකල් ජොන්සන්, මල්ලිකා, ලුණු දෙහි, ජිප්සීස් සංගීත කණ්ඩායමේ මුල් කාලයේ දී අතිශය ජනප්‍රිය වූ සංගීත නිර්මාණ යි.

සංගීත ක්ෂේත්‍රයේ කෙලින් කතා කරන කලාකරුවෙකු ලෙස ප්‍රකට සුනිල් අයියා මෙරට සමාජයේ දුර්වල තැන් සිය සංගීතය හරහා නිර්දය විවේචනයට ලක් කළේ කිසිදු බිය සැකයකින් තොරව යි. එමෙන්ම සුනිල් පෙරේරා නම් වූ මෙම විශිෂ්ට ගායකයා මෙරට වෙනත් කිසිදු සංගීතඥයකු නො කළ තරමට ම මෙරට දේශපාලනය ද සංගීතය හරහා නිර්දය ලෙස විවේචනය කළා.

ඔහුගේ 'එතුමා' ගීතය එයට කදිම නිදර්ශනයක්. එමෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායම ගායනය කළ 'අයි ඩෝන්ට් නෝ වයි' ගීතය මෙරට සමාජයේ අඩුලුහුඬුකම් දැඩි ලෙස විවේචනය කළ ගීතයක් වුණා. සුනිල් පෙරේරාගේ සංගීත භාවිතය කෙතරම් දැඩි වී ද යත් ඔහුගේ ගීත බොහොමයක් මුල් කාලයේ රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තහනම් කර තිබුණා. සිය අසහාය ගායනයට අමතර ව සුනිල් පෙරේරා සංගීත කණ්ඩායම් කළමනාකරණය පිළිබඳවත් අලුත් පාඩමක් මෙරට සංගීත කණ්ඩායම් වෙත කියා දුන් සංගීත ශිල්පියෙක්.

සිය සංගීත කණ්ඩායම ක්ෂේත්‍රයේ ඉහළින් ම රඳවා තබා ගැනීම සඳහා සිදු කළ යුතු නව අත්හදාබැලීම්, කණ්ඩායම් කළමනාකරණය, නව තාක්ෂණය සමඟ මුසු වීම ආදී කාරණා පිළිබඳ සුනිල් පෙරේරා සිටියේ මනා අවදියකින් සහ අවබෝධයකින්. මේ නිසාම 70 දශකයෙන් ඇරඹෙන ජිප්සීස් සංගීත කණ්ඩායම අද දක්වාත් සැලකෙන්නේ මෙරට වැඩි ම මුදලක් අය කරන සංගීත කණ්ඩායම ලෙසට යි.

ඔහු සිය සංගීත කණ්ඩායම ක්ෂේත්‍රයේ හිනිපෙත්තේ තබා ගැනීම සඳහා එයට මනා නායකත්වයක් දුන්නේ අනෙකුත් සංගීත කණ්ඩායම් වලට ද පරමාදර්ශයක් වෙමින්. ඔහුගේ රටාව අනුගමනය කරමින් ඉන්පසුව බිහිවන සන්ෆ්ලවර්ස්, මේරියන්ස් ආදී සංගීත කණ්ඩායම් කලින් කලට මෙරට සංගීතයේ රැලි නිර්මාණය කළ ද සුනිල් පෙරේරා ගේ අසහාය නායකත්වයෙන් හෙබි ජිප්සීස් සංගීත කණ්ඩායම අභිබවා යන්නට ඒ කිසිවකුටත් හැකි වුණේ නැහැ.

පසුකාලීන ව ගීතයෙන් පමණක් නොව සිය මතවාදයෙන් ද සමාජ අසාධාරණයන්ට එරෙහි ව නැගී සිටි සුනිල් පෙරේරා බොහෝ විට පවතින දේශපාලන නායකත්වයන් සහ ක්‍රමවේද දැඩි ලෙස විවේචනය කළේ කිසිදු බියකින් තොරව යි. 1983 දී ගීතා කුලතුංග සමග විවාහ වන සුනිල් පෙරේරා සජිත්, ගයාන්, රෙහානා සහ මනිෂා යන දරුවන් සිව් දෙනාගේ ආදරණීය පියා යි.

සිය පියාගේ අඩි පාරේ යමින් සංගීත ක්ෂේත්‍රයට එක් වූ ගයාන් daddy නමින් සංගීත කණ්ඩායමක් බිහිකරමින් ජනප්‍රිය ගීත ගණනාවක් නිර්මාණය කළා. අගෝස්තු මස පස්වන දා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනෙන සුනිල් පෙරේරා සහ බිරිඳ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

එහිදී අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙන සුනිල් පෙරේරා සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරු ව සුවය ලබා නිවසට පැමිණෙනවා. දින කිහිපයක් නිවසේ විවේක සුවයෙන් ගත කරන සුනිල් පෙරේරාගේ පෙනහලුවල මතු වෙන අසාත්මිකතාවක් හේතුවෙන් නැවත රෝහල් ගත කරන්නේ පසුගිය තුන් වන දා සවස්වරුවේදි යි.

එහි දී මතු වූ සංකූලතා බරපතල වීම හේතුවෙන් ඔහු නැවතත් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙනවා. වරක් කොරෝනා මාරයා පැරද වූ සුනිල් පෙරේරා මෙවර නියුමෝනියා (pneumonia) තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් අද අලුයම් කාලයේ සදහට ම දෙනෙත් වසා ගන්නේ, මෙරට සංගීත ක්ෂේත්‍රයට කිසිදා පිරිමැසිය නො හැකි බරපතළ හිඩසක් ඉතිරි කරමින්.

"නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණු දාට coffin එකේ අපි නිදියන්නේ" ජීවිතේ යථාර්ථය සංගීතය තුළින් ප්‍රකට කළ ගායකයා, වාදකයා, ගීත රචකයා සහ සංගීතඥයා මේ සියල්ලට ම ඉහළින් කෙලින් කතා කරන හිත හොඳ මිනිසා සිය හැට නව වැනි ජන්ම දිනයට හරියට ම දින 8ක් ඉතිරි ව තිබිය දී අද මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී අවසන්. කණ්ඩායම් සංගීතයේ අනභිභවනීය නියමුවාණෙනි ඔබට සුභ ගමන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery