සති අන්තයේ දැඩි සුළඟක් ගැන අනතුරු ඇඟවීමක්!
උතුරු චීනයට මෙම සති අන්තයේ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව බලධාරීහු අනතුරු අඟවති. එම සුළං ප්‍රවාහය පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් හැමිය හැකි බව අපේක්ෂා කෙරේ.
එබැවින්, උතුරු චීනයේ ජනතාවට එළිමහන් කටයුතුවලින් වැළකී නිවෙස් තුළ රැඳී සිටින ලෙස බලධාරීහු උපදෙස් දී ඇත.
කිලෝග්‍රෑම් 50ට අඩු බරැති පුද්ගලයින් මෙම සුළං ප්‍රවාහයට හසුවුවහොත් පහසුවෙන් ගසාගෙන යා හැකි බව චීන බලධාරීහු අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාමාන්‍යයෙන් මෙම කාලපරිච්ඡේදයේදී මොංගෝලියාව හරහා උතුරු චීනය වෙත තද සුළං ගලා ඒම වාර්ෂිකව සිදුවන අතර, මෙවර එම සුළං ප්‍රවාහය වසර ගණනාවකට පසු අතිශය දැඩි විය හැකි බවට අනතුරු ඇඟවීමක් කර ඇත.
ඒ හේතුවෙන්, දශකයකට පමණ පසුව සුළි කුණාටුවක් පිළිබඳ තැඹිලි පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක් චීන බලධාරීහු නිකුත් කර ඇත.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් බීජිංහි උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 13කින් පමණ පහත වැටෙනු ඇති බව අනුමාන කෙරේ.
