ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් - සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,609,759කි.
එමෙන්ම සැප්තැම්බර් 01 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 14ක කාලය තුළ පමණක් සංචාරකයින් 74,637 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
එම සංඛ්‍යාව 408,024කි. මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 155,798ක්, චීනයෙන් 105,294ක් සහ ජර්මනියෙන් 94,007ක් මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළද ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම කාලය තුළ ඉන්දියාවෙන් පමණක් සංචාරකයින් 22,541 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.