අද දවසේ වර්ජනය කරන සහ නොකරන පිරිස මෙන්න..බොහෝ අංශ අඩාල වෙයි?..

Sri Lanka
By Aruna Mar 01, 2023 12:57 AM GMT
Aruna

Aruna

Report

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් අද දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ හරහා අද දිනයේදී ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වනු ඇති බවයි ඊට සහය දෙන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

එමෙන්ම අද පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සිය සහයෝගය දැක්වීමට ඊයේ පස්වරුවේ කැඳවූ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළේ.

ඒ අනුව දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනයේදී ක්‍රියාත්මක නොවනු ඇති.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ, මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, වකුගඩු රෝහල් ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක්ද අද දිනයේදී කළු විරෝධතාවක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇදුමෙන් සැරසී, කළු පටි බැඳ පාසල් වෙත පැමිණෙන බවයි ලංකා ගුරු සංගමය සඳහන් කළේ.

මේ අතර අද දිනයේදී දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී සිය විරෝධය පළකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

එමෙන්ම තෙල්, විදුලි, ජල ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති අද දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් සිය විරෝධතාව පළකිරීමට නියමිතයි.

ඒ අනුව විදුලි සහ ජල ක්ෂේත්‍රවලට අදාළව හදිසි බිඳවැටීම් යථාවත් කිරීමට පමණක් සේවා සපයන බවයි බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

වරාය වෘත්තීය සමිති අද දිනයේදී අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ හරහා භාණ්ඩ ගොඩබෑම්, නැව් පැමිණීම් සහ පිටවීම් සම්පූර්ණයෙන් අඩාල වනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් අද දිනයේදී මහබැංකු සේවකයින්, රජයේ සහ පෞද්ගලික බැංකුද වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

ඒ හේතුවෙන් අද දිනයේදී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු බොහොමයක කටයුතු අඩාල වනු ඇති බවයි වෘත්තීය සමිති පැවසූවේ.

කෙසේ වෙතත් අද දිනයේදී උපරිම සේවාවක් සැලසීම සඳහා තම බැංකු සූදානම් බවට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.

මේ අතර අද දිනයේදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම වර්ජනයේ නිරත වීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත්, අද දිනයේදී සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බව අප කළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ ප්‍රකාශ කළා.

මේ අතර අද ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහය පළනොකරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha