වෙසක් සමයේ දැඩි වන නීති.

Sri Lanka Police Vesak Full Moon Poya Sri Lanka Government Of Sri Lanka
By Wayomi May 04, 2023 08:16 AM GMT
Wayomi

Wayomi

Report

එළඹෙන වෙසක් පොහොය දිනය ඇතුළු වෙසක් දිනවල ආගමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ කටයුතු වල නිරතවීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නුසුදුසු විවිධ කටයුතු වල නිරත නොවන ලෙසත් විශේෂයෙන්ම ඔළුබක්කන් නැටවීමට තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

වෙසක් සමයේ රථවාහන පාලනය කිරීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීම සඳහා ඔවුන් ක්‍රියාකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම වේගයෙන් රිය ධාවනය කරන්නවුන් සහ බීමත් රියැදුරන් කොටු කර ගැනීමටත් පදික වේදිකාව අවහිර වන ලෙස වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අනාවරණය කළා .

මේ අතර පුණ්‍ය වෙසක් සතිය තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන්නන් ඒ සඳහා යුහුසුලුව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා වැටලීම් සිදු කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.

එළඹී ඇති වෙසක් සතිය තුළ මහ ජනයා ආරක්ෂා කිරීමේ කටයුතු මේ වනවිටත් සංවිධානය කර ඇති බව කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙසක් කලාපය බෞද්ධාලෝක මාවතෙන් ආරම්භ වී තර්ස්ටන් පාර, ගාලු පාර, ගාලු මුව‍ෙදාර දක්වාම දීර්ඝ වෙසක් කලාපයක් මෙන් ම කොම්පඤ්ඤවීදිය ගංගාරාම විහාරස්ථානයේ ද මහනුවර සහ විවිධ නගරවල ද වෙසක් කලාප ක්‍රියාත්මක වන බවට පොලිසිය වෙත දැනුම් දී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව ද එතුමා අවධාරණය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW