ලක්ෂ 08ක පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
නැගෙනහිර පළාතේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා බෙදාහැරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනාකමකින් යුතු පෙළපොත් 19,892 ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා සහ අදාළ පොත් තොගය මිලදී ගත් බෝතල් පත්තරකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පෙළපොත් තොගය ප්‍රවාහනය කිරීමට භාරගත් ලොරි රථයේ රියදුරු විසින් එම පොත් සියල්ල කඩදාසි බරට බෝතල් පත්තරකරුවෙකුට විකුණා රුපියල් 47,000 ක මුදලක් ලබාගෙන ඇති බවයි.
නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12 ක් වෙත බෙදාහැරීම සඳහා මෙම පොත් තොගය භාරදී ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත බියගම ප්‍රදේශයේ ප්‍රවාහන ආයතනයකටයි.
ඉකුත් මැයි මාසයේදී එම ආයතනයට අයත් ලොරි රථයකින් පොත් තොගය භාරගත්ත ද, ඒවා නියමිත ස්ථාන වෙත නිසි පරිදි භාරදී නොමැති බවට තොරතුරු ලැබීමත් සමඟ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක විසින් පසුගියදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල මත වහාම විමර්ශන ආරම්භ කළ පොලීසිය අදාළ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, ඔහු විසින් මෙම පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවෙකුට අලෙවි කළ බවට පාපොච්චාරණය කර තිබේ.
පසුව සිදුකළ මෙහෙයුමකදී එම පොත් තොගය මිලදී ගත් බෝතල් පත්තරකරු ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් බෝතල් පත්තරකරුගෙන් ප්‍රශ්න කිරීමේදී, ඔහු විසින් අදාළ පෙළපොත් තොගය පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට නැවත අලෙවි කර ඇති බවට හෙළි වී තිබේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි