සමථ මණ්ඩල මඟින් වසරකට නඩු ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් නිරාකරණය කිරීම වෙනුවෙන් අධිකරණය ඇමතිගෙන් පැසසුම්
වාර්ෂිකව නඩු ලක්ෂ දෙකකට (200,000) අධික සංඛ්‍යාවක් සාර්ථකව නිරාකරණය කිරීමට මෙරට සමථ මණ්ඩල සමත්ව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (14) පැවැති ජාතික සමථ දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. සමථකරණ ක්‍රියාවලිය වෙනුවෙන් 2026 වසර සුවිශේෂී වසරක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවර අයවැය මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800 කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළේය.
එමඟින් ප්‍රමාද වී පැවති පුහුණු වැඩමුළු පැවැත්වීමටත්, සමථකරුවන් පත් කිරීමේ කටයුතු නිසි කාලයට සිදු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා සමථ මූල මණ්ඩල තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති අතර, දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ඉඩම් ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට ද කටයුතු කර තිබේ.
එමෙන්ම, අධිකරණ වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අවම කිරීම සඳහා කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 6 තුළ විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල ස්ථාපිත කර ඇත. මෙමඟින් අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩුවන අතරම ජනතාවට ඉක්මන්, සාධාරණ හා සාමකාමී ආරවුල් විසඳුමක් හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී දිවයින පුරා සේවය කරන 9,000 කට අධික සමථකරුවන්ගේ නිශ්ශරණීය සේවය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා, ප්‍රජා සමථ මණ්ඩල 332 ක් සහ විශේෂ සමථ මණ්ඩල 31 ක් සම්බන්ධීකරණය කරන සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ද සිය ස්තූතිය පිරිනමන ලදී.