කළුබෝවිල අවිශ්කගේ’ ගෝලයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට
කොහුවල, විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනිඅවි තුනක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සමත්ව තිබේ.
විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගිනිඅවි තුනට අමතරව උණ්ඩ 8ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී මොවුන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කළුබෝවිල අවිශ්ක' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානීන් බවට අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් 39 හැවිරිදි සැකකරුවෙකි.
පසුගිය සැප්තැම්බර් 14 වනදා කොහුවලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 504ක් සමඟ අත්අඩංගුවට පත් සැකකරුවන් ද මොවුන්ගේ සමීපතමයන් බවට හෙළිව තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාරදී ඇත.