දිවයින පුරා ඩෙංගු මරණ 75 දක්වා ඉහළට - රෝගීන් සංඛ්‍යාව 98,000 පනී
වසරේ මේ දක්වා කාලසීමාව තුළ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,616ක් වන අතර, මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වේ. සමස්ත රෝගීන්ගෙන් 52.62%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 14,209 දකුණු පළාතෙන් වාර්තා වේ.
අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (20,917) වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,435ක් සහ මහනුවරින් රෝගීන් 7,410ක් ලෙස හඳුනාගෙන තිබේ.
මාසිකව සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී (29,964) වාර්තා වී ඇති අතර, ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී 10,155ක් වාර්තා වී ඇත.
සැප්තැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 3,125ක් වාර්තා වේ. මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 34ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, පරිසරය පිරිසිදුව තබමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.