" සහල් මිල වැඩි කිරීම පාපයක් " වෙළඳ ඇමති බන්දුලගෙන් විශේෂ ප්‍රකාශයක්

economic rice Sathosa port city Bandula Gunawardhana
By Sewvandhi Jan 14, 2022 08:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් කන්ටේනර් 500 ක් ඊයේ(13) දිනය වනවිට කොළඹ වරායට පැමිණ ඇති බව, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, බදු සහන යටතේ ගෙන්වූ මෙම සහල් වෙළඳපොලට නිකුත් කළ පසු සහල් මිල අඩුවිය යුතු බවයි. මේ වනවිට සහල් මාෆියාවක් ක්‍රියාත්මක බව පෙන්වා දෙන වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ, සහල් සඳහා කෘත්‍රිම මිලක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කරන බවයි.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ, ඊයේ බලපිටිය ප්‍රදේශයේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, වැඩි ලාභ ලබාගැනීම සඳහා සහල් මිල වැඩි කිරීම පාප කර්මයක් බවයි.

සතොස හරහා අඩුමිලට සහල් ලබාදෙන බවට වෙළඳ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද, පිටකොටුව වෙළඳපොල සහල් සිල්ලර මිල ගණන් උපුටා දක්වමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165 කටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 155 කටත් මෙම සතිය තුළ පැවති බවයි.

එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 167 යි ශත 50 කටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140 කටත් පැවති බව, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා. 

 නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 172 යි ශත 50ක මිලකටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 168 යි ශත 75 ක මිලකටත් අලෙවි වූ බව, එහි වැඩිදුරටත් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now