ලංකාවට එන ටින්මාළු ප්‍රමාණය එකවරම බිංදුවටම ළඟා වෙයි
මෙම වසරේ මුල් මාස පහ තුළ මෙරටට සිදුකළ ටින්මාළු ආනයනය 2024 වසරේ එම කාලය හා සැසඳීමේදී සියයට 99.8කින් පහළ ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරටට ආනයනය කර ඇති ටින්මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5.4ක් පමණක් වන අතර, 2024 වසරේ එම කාලය තුළ මෙට්‍රික් ටොන් 3,007.5ක් ආනයනය කර තිබුණි.
පසුගිය වසර කිහිපය තුළ ටින්මාළු ආනයනය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කිරීමේදී වසරින් වසර සැලකිය යුතු වෙනස්කම් සිදුව ඇති බවද අමාත්‍යාංශ වාර්තාව පෙන්වා දෙයි.
2024 වසර පුරා මෙරටට ටින්මාළු මෙට්‍රික් ටොන් 4,476ක් ආනයනය කර ඇති අතර, 2025 වසරේදී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 601.1ක් දක්වා අඩු වී තිබේ.
වසරින් වසර ටින්මාළු ආනයනය
- 2021 - මෙට්‍රික් ටොන් 8,758.1
- 2022 - මෙට්‍රික් ටොන් 3,434.0
- 2023 - මෙට්‍රික් ටොන් 7,904.4
- 2024 - මෙට්‍රික් ටොන් 4,476.0
- 2025 - මෙට්‍රික් ටොන් 601.1
- 2026 ජනවාරි - මැයි - මෙට්‍රික් ටොන් 5.4
ඒ අනුව, 2025 වසරේ සිට ටින්මාළු ආනයනයේ සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබෙන අතර, 2026 වසරේ මුල් මාස පහ තුළ එය තවදුරටත් දැඩි ලෙස පහළ ගොස් තිබේ.
ආනයන වියදමත් පහළට
ටින්මාළු ආනයනය සඳහා වැය කළ මුදලද පසුගිය වසර දෙක තුළ සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.
2024 වසරේ ටින්මාළු ආනයනය සඳහා රුපියල් මිලියන 3,317.8ක් වැය කර ඇති අතර, 2025 වසරේදී එම වියදම රුපියල් මිලියන 1,019ක් දක්වා අඩු වී ඇත.
ඒ අනුව, ටින්මාළු ආනයනයේ ප්‍රමාණය මෙන්ම ඒ සඳහා වැය වන විදේශ විනිමය වියදමද මෑත කාලය තුළ කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව අමාත්‍යාංශ දත්තවලින් පෙනී යයි.