මෝදිගේ ආරාධනාවෙන් ඉන්දියාවට ගොඩබැස්ස ෂී ජින්පිං
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් අද (12) දහවල් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණ ඇත.
නවදිල්ලියේ Palam ගුවන් හමුදා කඳවුරට පැමිණි ෂී ජින්පිං මහතා ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
එම අවස්ථාවට ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා ද එක්ව සිටියේය.
ගුවන් තොටුපළේ සිට මෝටර් රථයකින් සිය නවාතැන් ගන්නා හෝටලය වෙත ගමන් කළ චීන ජනාධිපතිවරයාට ඉන්දියාවේ සිටින චීන ජාතිකයින් සහ චීන ආයෝජන සහිත ව්‍යාපාරවල නියෝජිතයන් විසින්ද උණුසුම් පිළිගැනීමක් ලබාදී තිබේ.
මාර්ග දෙපස රැඳී සිටි ඔවුන් චීන සහ ඉන්දීය ජාතික කොඩි වනමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.