රාජ්‍ය විශ්වවිද්‍යාල දවස් දෙකක් නවතීද? - වෘත්තීය සමිති දෙදින වැඩවර්ජනයකට සැරසෙයි
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සේවකයන් දෙසැම්බර් 1 සහ 2 යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප්, දීමනා සහ අතිකාල දීමනා අයවැය මගින් කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා සඳහන් කළා.
ඒ අනුව, විධායක, පරිපාලන, ස්වාධීන සහ දේශපාලන වෘත්තීය සමිති නියෝජනය කරන සේවකයන් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල දබරේරා මහතා පැවසුවේ, 2025 අයවැය මගින් විශ්වවිද්‍යාල සේවකයන්ට මෙතෙක් ලබාදී තිබූ වැටුප් සහ දීමනා කප්පාදු කිරීමට එරෙහිව අවස්ථා කිහිපයකදීම විරෝධතා සහ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි.
අධ්‍යාපන අමාත්‍යවරිය, අග්‍රාමාත්‍යවරිය, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ඔහු සඳහන් කළා.
එමෙන්ම, 2026 සහ 2027 අයවැය මගින් මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද එය ඉටු නොවූ බවද ඔහු පෙන්වා දුන්නා.
මෙම ගැටලුවට විරෝධය පළ කරමින් පසුගිය 18 වැනිදා සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වූ බවත්, පසුගිය 25 වැනිදා එක්දින වැඩවර්ජනයක නිරත වෙමින් ජනාධිපති කාර්යාලය වෙත පාගමනින් ගොස් ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදුන් බවත් ඔහු ප්‍රකාශ කළා.
එහිදී ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡාවේදී වැටුප් කොමිසම හරහා මෙම ගැටලුව විසඳාගත හැකි බවට අදහස් පළවූ බවද සඳහන්.
කෙසේ වෙතත්, එම වැටුප් කොමිසම පත්කර ඇත්තේ ආයතන අතර සහ ආයතන තුළ පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා විසඳීමට මිස අයවැය මගින් ඇති කළ වැටුප් ගැටලු විසඳීමට නොවන බව වෘත්තීය සමිති නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පවත්වා ඇති අතර, ගැටලුව කඩිනමින් විසඳීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණද මෙතෙක් එම උපදෙස් ක්‍රියාත්මක වී නොමැති බවට ද වෘත්තීය සමිති චෝදනා කරනවා.
ඒ අනුව, දෙසැම්බර් 1 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත්, දෙසැම්බර් 2 වැනිදා දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවකයන් වැඩවර්ජනයට එක්කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග, පර්යේෂණ, විද්‍යාගාර පරීක්ෂණ සහ බාහිර සමාජයට සපයන සේවාවන් අඩාල විය හැකි බවද මංගල දබරේරා මහතා අනතුරු අඟවනවා.
එබැවින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් අඩාල වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී වෘත්තීය සමිති සමඟ සෘජු සාකච්ඡාවක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියා.