මඩකලපුවේ අයාලේ යන ගවයන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුමක් - එක් ගවයෙකුට රු. 10,000ක දඩයක්
මඩකලපුව මහනගර සභා සීමාව තුළ අයාලේ යන ගවයන් හේතුවෙන් මතුව ඇති ගැටලු සහ මාර්ග අනතුරු අවම කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මඩකලපුව නගරාධිපති සිවම් පාක්‍යනාදන් මහතා සඳහන් කළේ, අයාලේ යන ගවයන්ගෙන් නගරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මහනගර සභාව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, පසුගිය සතියක කාලය තුළ පමණක් සිදුකළ මෙහෙයුම්වලදී අයාලේ යමින් සිටි ගවයන් 150 දෙනෙකු පමණ අල්ලා ගැනීමට හැකි වී තිබේ.
මෙලෙස අල්ලා ගනු ලබන ගවයන්ගේ හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමටත්, දඩ මුදල් අය කිරීමටත් නියමිත බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, අල්ලා ගනු ලබන එක් ගවයෙකු වෙනුවෙන් එහි හිමිකරුගෙන් රුපියල් 10,000ක දඩ මුදලක් අය කෙරෙනු ඇත.
එමෙන්ම, අල්ලා ගත් ගවයා නිදහස් කර ගැනීම ප්‍රමාද වන සෑම අමතර දිනයක් සඳහාම රුපියල් 1,000 බැගින් අමතර ගාස්තුවක් ගෙවීමට ද හිමිකරුවන්ට සිදුවන බව ඔහු පැවසීය.
එකම ගවයා අවස්ථා දෙකකදී අල්ලා ගනු ලැබුවහොත්, අදාළ සත්වයා අධිකරණයට ඉදිරිපත් කර වෙන්දේසි කිරීමට ද අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එබැවින්, තම ගවයන් මහජන මාර්ගවල අයාලේ යාමට ඉඩ නොදී නිසි පරිදි රඳවා තබා ගැනීමට කටයුතු කරන ලෙස මඩකලපුව මහනගර සභාව ගව හිමියන්ගෙන් ඉල්ලා සිටියි.