බස් ධාවනය යථාතත්ත්වයට...?

dilum amunugama vaccine card kinsli ranavaka bus license
By Sewvandhi Aug 09, 2021 02:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (09) සිට ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. එම නිසා සේවක සේවිකාවන් ද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව ඔහු සඳහන් කළේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ඒ මහතා,

"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි. පසුගිය දිනවල නිකුත් කළ චක්‍රලේඛයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව අපට පැහැදිලිවම දැනුම්දීලා තියෙනවා. ඒ අනුව ගමනාගමන මණ්ඩලයේ සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතුයි. අපේ බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරලා තියෙනවා. රාජ්‍ය ආයතනවල සේවකයින් සියයට 50ක් පමණ අඩු කරන්න රජය කටයුතු කරලා තියෙන්නේ බස්රථවල හා සේවා ස්ථානවල ඇතිවෙන තදබදය තුළින් මෙම කොවිඩ් වෛරසය පැතිරීම අවම කිරීමට. කිසියම් ආකාරයකට මහජනතාව මාර්ගවලට අවතීර්ණ වෙනවා නම් ඒ අයට සෞඛ්‍ය පුරුදු නිසිපරිදි පවත්වා ගෙන යෑමට සහ සමාජ දුරස්ථභාවය නිසිපිරිදි පවත්වාගෙන යෑමට හැකිවන පරිදි බස්රථ අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ධාවනය යොදවන ලෙස අපිට සෞඛ්‍ය අංශ අපට උපදෙස් ලබාදෙනවා."

මේ අතර, නව චක්‍ර ලේඛයන්ට අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළව අද (09) දිනයේ සිට අමතරව බස්රථ ධාවනයට එක්කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රමාණවත් තරම් බස්රථ නොමැති බව පවසමින් කිසිදු බස් රථයක ආසාන ධාරිතාව ඉක්මවා මගීන් ගෙනයා නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස බස්රථ සේවකයින්ට උපදෙස් ලබාදී ඇති අතර එම කොන්දේසි උල්ලංඝනය කළ බස් රථ 70කට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව දිලුම් අමුණුගම මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha