හැමෝම පුදුම කරමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු තැබූ වාර්තාව...

By Sithumi Aug 15, 2022 02:51 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඕනෑම වයස් සීමාවකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට අනුරාධපුර ශාන්ත ජෝසප් ජාතික පාසලේ දනිදු සෙල්ලප්පෙරුම පසුගියදා සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කළ වයස අවුරුදු 15න් පහළ තෙවන කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත්විය. තරගය පැවැත්වුණේ අනුරාධපුර ශාන්ත ජෝසප් ජාතික පාසල සහ අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතරය.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 722ක් රැස් කළේය. එහිදී දකුණත් ආරම්භක පිතිකරු දනිඳු සෙල්ලප්පෙරුම වාර්තාගත ලකුණු 553ක් රැස් කිරීමට සමත් වු අතර පන්දු 204කදී රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 31ක් සහ හතරේ පහර 63ක් ඇතුළත් වුණි. 

 එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඕනෑම වයස් සීමාවකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. මීට පෙර එම වාර්තා හිමි කර ගෙන තිබුණේ ලකුණු 409ක් රැස් කළ මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානය. වයස අවුරුදු 14ක් වන දනිඳු සෙල්ලප්පෙරුම අනුරාධපුර ඉසුරුපුර ග්‍රාමයේ ජීවත් වන අතර ඔහු 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

කුඩා කළ සිට පාපන්දු ක්‍රීඩාවේ නිතර වුවද සිය කැමැත්ත මත ඔහු 6 වැනි ශ්‍රෙණියේ දී පාපන්දුව අත් හැර ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවී තිබේ. දනිඳු ක්‍රීඩා කළ පළමු පාසල් තරගයේදීම ලකුණු නොලබා දැවී ගියත් අද වන විට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාෙව් වාර්තා තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට තරම් දක්ෂයකු වී සිටී.

දනිඳු ඉදිරියේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් වනු නොඅනුමානය. ඒ දක්වා වන ගමනේදී ඔහුගේ දක්ෂතා තවදුරටත් මුවහත් කරගැනීමට දනිඳු රැකබලාගැනීම පාසල් ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමය.