ගිනි තියපු නිවාස වලට ඇමතිවරුන් වන්දි ඉල්ලයි.. කිහිප දෙනෙක් ඔහු අත්අඩංගුවට ගනියි

Sri Lanka
By Sithumi May 14, 2022 03:17 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද (14) තීරණය කර තිබුණි.

අනතුරුව එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී නියෝජ්‍ය කථානායක ලෙස අජිත් රාජපක්ෂ මහතා යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයෙදී පැවැත් වුණි.

එම රැස්වීමට මන්ත්‍රීවරු 91 දෙනෙකු සහභාගී වී සිටි බව වාර්තා වන අතර සෙසු පිරිස ආරක්ෂක සහ වෙනත් හේතුන් මත රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව වාර්තා විය. මෙම රැස්වීම ආරම්භයේදී පසුගියදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවී තිබේ. ඒ පොලිස්පතිවරයා ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමිනි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව රැස්වීමට කැඳවා තිබේ. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා තිබුණේ, "මෙම සිද්ධිදාමය පටන් ගත් අවස්ථාවේ මම ජනාධිපතිතුමා ළඟ හිටියා. ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට සහ හමුදාපතිතුමාට නියෝග දෙනවා මම දැක්කා.

නමුත් ඒ නියෝග ක්‍රියාත්මක වුණේ නැහැ" යනුවෙනි. අනතුරුව නැගී සිටි මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ, "මේ ගිනිතියපු සහ පහරදුන් සෑම නිවසකටම අප්‍රේල් 4 සහ 5 දිනවලත් පහරදීම් සහ බලපෑම් සිදුවුණා. ඒ වෙලාවේ අනුරාධපුර මගේ නිවසට පහරදීමට පැමිණි අයගේ ඡායාරූප සහ නම් මම පොලිස්පතිවරයාට ලබාදී තියෙනවා.

ඒත් කිසිකෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. හරිනම් පොලිස්පතිවරයා දැන් ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම වන්දි දීමේ ක්‍රියාදාමයක් සහ විමර්ශනයක් වහාම ආරම්භ කරන්න කටයුතු කළ යුතුයි." මෙහිදී ජනාධිපති නීතීඥ අලි සබ්රි මන්ත්‍රීවරයා සඳහන් කළේ, පවතින නීතිය යටතේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් පෙන්වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ හැකි බවය. එහිදී පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවසුවේ,

“DIGවරු දෙදෙනෙක් යටතේ වහාම මේ සිද්ධි ගැන විමර්ශන ආරම්භ කරනවා. සති දෙකක් ඇතුළත පහරදීමේ සිද්ධිවලට සහභාගී වූ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා." යනුවෙනි. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ද මෙහිදී අදහස් දක්වමින්, "හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට මැදිහත් නොවීම සම්බන්ධයෙන් හමුදාපතිවරයාට ද චෝදනා කළ යුතුයි." 

යනුවෙන් ප්‍රකාශ කළාය. මේ අතර ජනාධිපතිවරයා පත්කිරීමට නියමිතව ඇති අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් කිසිඳු සාමාජිකයෙකු ඉදිරිපත් නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබේ.