රටම මඟ බලපු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන තීන්දුව - කොළඹ මහාධිකරණයෙන් මහ නඩුවේ විනිශ්චය කියන දිනය මෙන්න
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අනිද්දා (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ඒ, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් ඉදිරියේදීයි. සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන් අට දෙනකුට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23270ක් මෙහි නවෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් චෝදනා නගා ඇත.
අධිකරණයේදී හෙළි වුණේ මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ බෝම්බ පුපුරන ද්‍රව්‍ය , කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාණ්ඩ 2076ක් නඩු විභාගයේ දී ලකුණු කර ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරකයන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක්, කුඩා දරු දැරියන් තිස්පස් දෙනෙකුට ආසන්න පිරිසක් ඇතුළු පුද්ගලයන් 274 දෙනකු මරණයට පත්වූ අතර, තවත් පුද්ගලයන් පන්සිය හැත්ත හත්දෙනෙකුට (577) තුවාල සිදුවිය.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ ප්‍රතිපාදන යටතේ වෙන් වෙන්ව හා පොදු චෝදනා ගොනු කරමින් එම නඩුව පවරා තිබුණද නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර දාහත් (17) වන විත්තිකරු බන්ධනාගාර භාරයේ සිටියදී මිය ගොස් තිබීම නිසා චෝදනාපත්‍රය සංශෝධනය කර විත්තිකරුවන් විසිහතර දෙනෙකුට (24) එරෙහිව නඩු විභාගය පවත්වනු ලැබුවේය.
සාහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් ආගමික අන්තවාදින් අට දෙනක් විසින් ඉකුත් 2019 අප්‍රේල් මස 21 වැනිදා කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මිගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ ශ්‍රැංගිලා හෝටලය ඇතුළු සංචාරක හෝටල් තුනකදී හා ට්‍රොපිකල් ඉන් ආපනශාලාවේදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අටක් සිදුවිය. එහිදී ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු විමර්ශන කොට්ඨාශ මෙන්ම දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන කීපයක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් විසි පස් දෙනෙකුට එරෙහිව පවරනු ලැබූ නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් 2021 අගෝස්තු මස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සලකා බැලූ හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එවකට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුව විභාග කිරීම සඳහා පත්කරනු ලැබ තිබුණි. 2021 අගෝස්තු මස නීතිපතිවරයා පත් කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පෙර සඳහන් කළ විත්තිකරුවන් 25 දෙනාටම එරෙහිව අධි චෝදනා 23270 යටතේ එම නඩුව පවරා ඇත. සිංහල භාෂාවෙන් ගොනුකර තිබූ පිටු පන්දහකට (5000) අධික චෝදනාපත්‍රය 2021.10.04 හා 2021 11.23 කාලය අතරතුරදි විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට භාර දෙනු ලැබුවා.
විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම අනුව එම චෝදනා පත්‍රය ද්‍රවිඩ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්ද පිටපත් කර 2022.03.03 විත්තිකරුවන්ට භාරදීමට නීතිපතිවරයා පියවර ගෙන තිබුණා. දාහත් වන විත්තිකරු බන්ධනාගාර භාරයේ සිටියදීම ස්වභාවික හේතුවක් මත මියගොස් තිබීම නිසා 2023.02.28 වැනිදා එකී චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයා පියවර ගත්තා. 2022.09.15 දින විත්තිකරුවන්ට චෝදනාපත්‍ර කියවා දී තිබූ නමුත් 2023.03.31 හා 2023.08.11 කාලය අතරතුර සංශෝධිත චෝදනා පත්‍රය විත්තිකරුවන්ට නැවතත් කියවා දෙනු ලැබුවා. එහිදි, විත්තිකරුවන් 24 දෙනාම වෙන් වෙන්ව එකී චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව පැවසීම නිසා පැමිණිල්ලේ සාක්ෂි විභාගය පැවැත්වීමට විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ අතරතුර විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කොට නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට නියෝග කළා.
විත්තිකරුවන් නඩු විභාගය අවසන් වනතුරු ඇප මත මුදා හැරීමට නීතිපතිවරයාද එකඟතාවය නොදැක්වීම නිසා විනිසුරු මඩුල්ල එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. එක් අයෙකුට චෝදනා නමසිය තිහක් (930) හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් වෙන් වෙන්ව ගොනු කර තිබුණද එකී චෝදනා අතර පාස්කු ප්‍රහාරවලින් පුද්ගලයන් 274 මිය ගොස් තවත් 577 දෙනෙකුට තුවාල ලැබීමට අදාළ චෝදනා විත්තිය පිළිගැනීම නිසා 1979 අංක පහළොව (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ හාරසිය විස්ස (420) වගන්තිය යටතේ සිදුකළ පිළිගැනීම ලෙස සලකා වින්දිතයන්ගේ සාක්ෂි නොකැඳවීමටත්, නඩුවේ අවසන් තීන්දුව නිකුත් කිරීමේදී එකී පොදු චෝදනා සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදීමටත් විනිසුරු මඩුල්ල තීරණය කළා.
ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් ලකුණු කර තිබූ සාක්ෂිකරුවන් තුන්දහකට (3000) ආසන්න ප්‍රමාණයක්තරින් පන්සිය හතලිස් හත්දෙනෙකුගේ (547) සාක්ෂි පමණක් කැඳවීමටත්, සාක්ෂි ලේඛන 2077ක් අතරින් අත්‍යවශ්‍ය රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා, ඩීඑන්ඒ වාර්තා, අධිකරණ වෛද්‍යවරුන්ගේ වාර්තා, ඇතුළු වාර්තා කැඳවීමට පැමිණිල්ල පියවර ගෙන තිබුණා. පැමිණිල්ලේ සාක්ෂි විභාගය 2023.10.10 දමිත් තොට වත්ත අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ආරම්භකර 2026.08.13 දක්වා පුරා වසර දෙක හමාරකට ආසන්න කාලයක් එනම් දින දෙසිය පනහකට ආසන්න දින ගණනක් ඇතුළතදී අවසන් කිරීමට පැමිණිල්ලට හැකි වුණා.