සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පවරයි....
මුතුරාජවෙළ තෙත්බිම ආරක්ෂිත කලාපයක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පැවරීම රජයේ අරමුණ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මුතුරාජවෙළ තෙත්බිම සම්බන්ධව පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (14) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිළි කළේය.
මුතුරාජවෙළ තෙත් බිම පාරිසරික වශයෙන් ගත් කළ අපේ රටේ ඉතාම වැදගත් පාරිසරික කළාපයක්. මෙම පාරිසරික කළාපය විනාශ කරන්නට රජය ඉඩ තබන්නේ නැහැ. මේ සම්බන්ධව රජයේ ස්ථාවරය නම් මුතුරාජවෙළ ආරක්ෂිත කළාපයක් ලෙස සංරක්ෂණය කිරීමයි. එම කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කර වනජීවි දෙපාර්තමේන්තුවට පැවරීම රජයේ අරමුණයි.
පසුගිය කාලය තුළ ඇතැම් පුද්ගලයින් මෙම තෙත්බිමට අයත් ඉඩම් බළාත්කාරයෙන් අල්ලා ගෙන තිබුනා. එවැනි ඉඩම් අක්කර 600ක ප්‍රමාණයක් රජයට නැවතත් පවරා ගැනීමට තීරණය කළා. ඒ වගේම මෙහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු ව්‍යාපෘති රැසක් අපි නැවැත්වුවා. මුතුරාජවෙළ පරිසර සංරක්ෂණය සඳහා ජනාධිපතිතුමා ඉතා හොද වැඩ පිළිවෙළක් යෝජනා කළා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට තීරණය වුනා.
ඊට හේතුව තමයි ඒ සඳහා අවශ්‍ය මුදල් හා වෙනත් තාක්ෂණික පහසුකම් සියල්ල එම අධිකාරිය සතුව තිබීම. වනජීවි දෙපාර්තමේන්තුවට ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැති බව සාකච්ඡා වුනා. වර්තමානයේ මුතුරාජවෙළ තෙත්බිම තුළ LNG බලාගාරයක් පිහිටුවීම තුළින් එහි විශාල හානියක් බවට සමහරු චෝදනා කරනවා. මෙම ව්‍යාපෘතිය ඉදිවෙන්නේ කෙරවළපිටියේ ඉඩමක. මම තීරණය කර තිබෙනවා ඉදිරි සති දෙක තුළ අදාල සියලුම පාර්ශ්ව සමග එම ස්ථානයටම ගොස් මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කරන්න. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණොත් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර තිබුනා. මම උන්වහන්සේට කියන්නෙත් මෙම යෝජිත LNG බලාගාරය ඉදි වන්නේ මුතුරාජවෙළ තෙත්බිමට අයත් කළාපය තුළ නොවෙයි. LNG බලාගාරයක් කියන්නේ සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියක්.
ඒ නිසා ඒ සම්බන්ධව කිසිම කෙනෙක් අකැමැති වේයැයි මම හිතන්නේ නැහැ. 2030 වනවිට අපේ රටේ සමස්ත විදුලි බල සැපයුමෙන් සියයට 70ක් පුනර්ජණනීය බලශක්තිය තුළින් ලබා දීමට ජනාධිපතිතුමා එතුමාගේ හරිත ශ්‍රී ලංකාවක් වැඩ පිළීවෙළ තුළින් යෝජනා කළා. කෙරවළපිටියේ ස්ථාපිත වන්නේ දෙවන LNG බලාගාර ව්‍යාපෘතියයි. එමගින් මුතුරාජවෙළ පරිසර පද්ධතියට හානියක් වන්නේ නැහැ.මෙම ව්‍යාපෘතිය අවුරුදු ගණනක් තිස්සේ ක්‍රියාත්මක නොවී නඩු තුළ හිර වී තිබු ව්‍යාපෘතියක්. නමුත් මම විදුලිබල අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී අදාල පාර්ශ්ව කැඳවා ගැටළුව සමථයකට පත් කර LNG බලාගාරය ඉදි කිරීම සඳහා අවශ්‍ය සියලු පසුබිම සකසා දුන්නා. ඒ අනුව තමයි දැන් මෙම වැඩපිළීවෙළ ඉදිරියට යන්නේ. ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා එම කටයුතු ඉතා හොඳින් කර ගෙන යනවා. පරිසර ඇගයීම් වාර්තාව අනුව වැලි පිරවීම සඳහා මුහුදෙන් වැලි පොම්ප කිරීමට යෝජිතයි. එම ඉඩම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලසීමාව මෙම ජුලි මස 05 දින සිට අගෝස්තු 17 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධව මහජනතාවට අදහස් ලබා දිය හැකියි.
කෙසේ වුවත් LNG විදුලි බලාගාර මේ රටට අවශ්‍යයි. එම ව්‍යාපෘතිය සියයට 100ක්ම පරිසර හිතකාමීයි. ඒ නිසා සියලු දෙනාට නිසි කරුණු පැහැදිළි කිරීමකින් අනතුරුව මෙම ව්‍යාපෘතියට කැමැති වේවි යැයි මම විශ්වාස කරනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් මුතුරාජවෙළ සංරක්ෂණය කර ආරක්ෂිත වන ජීවි කලාපයක් ලෙස රටේ ඉදිරි පරපුරට ලබා දීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම මුතුරාජවෙළ පරිසරය විනාශ කරන්නන් අත් අඩංගුවට ගැනීමටත්, එම සංරක්ෂිත කලාපයට හානිකර සියලු ව්‍යාපෘති අත්හිටුවීමට අතිගරු ජානධිපතිතුමන් උපදෙස් මත පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා කීය.