ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ පැය 72ක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
අද (25) අලුයම 5.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් ඔහු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබේ.
‘බස් ලලිත්’ට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර ඇති බව වාර්තා වේ.
අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අදාළ රතු නිවේදනය ලබාගෙන ඇති බව සඳහන් වේ.
මිනීමැරුම් චෝදනාවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මගින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.
එමෙන්ම, 2021 සැප්තැම්බර් 20 වැනිදා නෙළුම්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා ඔහුට බරපතළ තුවාල සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින්ද ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
තවද, 2022 ඔක්තෝබර් 16 වැනිදා පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ‘බස් ලලිත්’ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.