ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සේවා පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණය - දිවයින පුරා ක්‍රියාත්මකයි
මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවන අයුරින් ‘ජනරිද්ම’ (SL PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙරට ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341කින් සමන්විතයි.
එම ආයතනික පද්ධතිය මඟින් ප්‍රජා සංවර්ධනය, සමාජ ආරක්ෂණය, රජයේ ඉඩම් පරිපාලනය, ආපදා කළමනාකරණය, සිවිල් ලියාපදිංචිය, විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවා සහ වෙනත් පුරවැසි කේන්ද්‍රීය පරිපාලන කාර්යයන් ඇතුළු අත්‍යවශ්‍ය මහජන සේවාවන් රැසක් සපයයි.
අඳාළ සේවාවන් සඳහා ප්‍රවේශය, සේවාවන්හි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ පුරවැසි ප්‍රතිචාර සහ අත්දැකීම් ක්‍රමානුකූලව ලබා ගැනීමට සහ ඇගයීමට ලක් කිරීමට ජාතික යාන්ත්‍රණයක් වර්තමානයේ ස්ථාපිතව නොමැති බව වාර්තා වේ.
ඒ වෙනුවෙන් වන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙරට ප්‍රථම රාජ්‍ය සේවා පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දෙන මුල්‍ය හා තාක්ෂණික සහාය යටතේ ‘ජනරිද්ම’ (SL PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව විවෘත මහජන සහභාගිත්වය, ප්‍රජා මූලික සමීක්ෂණය සහ අහඹු සමීක්ෂණය යන මට්ටම් යටතේ පුරවැසි සහභාගිත්වය, පුරවැසියන්ට වගවීම, දූෂණ අවම කිරීම, රාජ්‍ය පරිපාලන කාර්ය පටිපාටි, රාජ්‍ය සේවා, පරිසරය සහ ඩිජිටල්කරණය යන ප්‍රධාන ක්ෂේත්‍ර හත ආවරණය වන ආකාරයට පුරවැසියන් 13,000 - 15,000 අතර සංඛ්‍යාවක් සහභාගි කරවාගනිමින් අදාළ සමීක්ෂණය දිවයින පුරා සිදු කිරීමට නියමිතව ඇත.