රජයේ සහන ලබා නොදුන් ආයතන වලට වැඩ වරදී ...

srilanka politics presanna ranatunga
By Nimal Jun 23, 2021 06:28 AM GMT
Report

  කොවිඩ් වංසගතය නිසා බිද වැටී ඇති සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට රජය මගින් ලබාදී ඇති සහන ක්‍රියාත්මක කිරීමේ දි මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මුදල් රාජ්‍ය ඇමතිවරයාගේ සහ මහ බැංකුවේ අවධානය යොමු කරවයි.

ඒ අනුව එම ගැටළු සදහා විසදුම් ලබාදීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ කැදවා තිබේ. මෙම සාකච්ඡාව ලබන අගහරුවාදා (29) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මුදල් හා ප්‍රාග්ධන වෙළදපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.

මේ සදහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයට අදාළ විවිධ අංශ නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් ද සහභාගී වීමට නියමිතය. කොවිඩ් වසංගතය රට තුළ පැතිර යාමත් සමග මෙරට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ම බිද වැටුණි.

මේ නිසා මෙම කර්මාන්තයේ නියුතු සෘජු හා වක්‍ර යැපෙන්නන් බරපතළ පීඩාවකට පත්ව සිටින අතර ඔවුන්ට සහන සැලසීමේ ක්‍රියාවලියක් ද රජයේ මැදිහත්විමෙන් ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව විශේෂ ණය සහන පැකේජයක් හදුන්වා දුන් අතර ලීසිං වාරික ගෙවීම සදහා සහන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක විය. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සහ රියදුරන් සදහා රුපියල් 20,000 බැගින් සහ රුපියල් 15,000 බැගින් දීමනාවක් ලබාදීමට ද පියවර ගැණිනි.

එම දීමනාව මේ වන විට ලියාපදිංචි රියදුරන් 1968 දෙනෙකුට ගෙවා ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 29.52 ක මුදලක් වැය කර තිබේ. ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් 2510 කට රුපියල් මිලියන 47.9 ක මුදලක් ද ගෙවා ඇතැයි එම අධිකාරිය කියයි. මීට අමතරව ලියාපදිංචි සංචාරක හෝටල් සහ අනෙකුත් ආයතන සදහා විදුලි හා ජල බිල්පත් ගෙවීම සදහා ද සහන කාලයක් ලබා දී තිබේ.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වාහන සදහා ලබාගෙන ඇති ලීසිං පහසුකම් වලට සහන සැලසීමේ දී ඇතැම් මූල්‍ය ආයතන රජයෙන් ලබාදුන් සහනය ලබා නොදුන් බවට ද චෝදනා නැගී තිබේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ලබන අගහරුවාදා මුදල් රාජ්‍ය ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයා සමග පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවේ දි ක්ෂේත්‍රයට බල පා ඇති විවිධ ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි.