පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

Police spokesman Sri Lanka Police
By Sithumi Apr 03, 2023 04:50 PM GMT
Sithumi

Sithumi

Report

උත්සව සමය වෙනුවෙන් පොලීසිය මහජනතාවගේ ආරක්ෂා සඳහා විශේෂ සැලසුම් කිහිපයක් සකස් කර ඇති බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. 

 එළඹෙන උත්සවය සමයේදී මහජනතාව වංචාවලට හසු නොවී සිටීම සඳහා දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසුවා. විවිධ භාණ්ඩ මිලදීගැනීමේදී එම භාණ්ඩ පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වන ලෙසටයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිහාල් තල්දූව මහතා පැවසුවේ. 

 එසේම එහිදී අදාළ භාණ්ඩවල මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වංචාකාරී කූඨ වෙළෙන්දන්ට හසුනොවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

 මේ අතර උත්සව කාලයේදී ජාවරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එක්කරන බවත් ඒ පිළිබඳ ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව පොලීසිය පවසනවා. 

 එසේම මහජනතාව විශාල පිරිසක් එක්රැස්වන ස්ථානයන්හි ගැට කපන්නන් ගැවසීමේ අවදානමක් පවතින බවද එවැනි ස්ථානවලදී තම මුදල් පසුම්බිය ප්‍රවේසම් කරගැනීමට වගබලාගන්නා ලෙසද පොලීසිය මහජනතාව වෙත දැනුම්දි තිබෙනවා.

 එසේම භාණ්ඩ මිලදී ගැනීමට කුඩා දරුවන් සමඟ විවිධ ස්ථානවලට යන්නේ නම් එම අවස්ථාවලදී දරුවන්ට රන් ආභරණ පැළඳවීමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මේ අතර වැඩිහිටි පුද්ගලයින් සමඟ එළඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ වෙත ගමන්කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව රැකගැනීමට මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටී.

රථවාහන ගාල්කර වෙනත් ස්ථානයක් කරා ගමන් කරයි නම් තමන් පැමිණි රථයේ දොරගුළු වැසුණු බවට මෙන්ම යතුරුපැදියක පැමිණියහොත් එහි හැඬලය අගුලු දමා ඇති බවට නිවැරදිව තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් යතුරුපැදිවල තබා කිසිදු විටෙක පිටතට ගමන් නොකරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී. පිටතින් රථය නිරීක්ෂණය කිරීමේදී දර්ශනය වන වටිනා භාණ්ඩ රථය තුළ දමා නොයන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර නිවසින් දුර බැහැර යන්නේ නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ නොකරන ලෙසද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටී.

එසේම දුර බැහැර රථවාහන පදවාගෙන යාමේදී අදාළ මාර්ගයන්හි තත්ත්වය එම ප්‍රදේශවල කාලගුණික තත්ත්වය පිළිබඳවද සැලකිලිමත් වියයුතු බව පොලීසිය මහජනතාව වෙත උපදෙස් ලබාදී ඇත. මේ අතර ඉදිරියේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බැවින් කිසිදු හේතුවක් මත බීමතින් රිය ධාවනය නොකරන ලෙසද පොලීසිය මහජතාව වෙත දැනුම්දී සිටී.

එසේම මෙම උත්සව කාලයේදී විවිධ විනෝද ගමන් සඳහා සහභාගී වීමේදී අනතුරුදායක ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. විශේෂයෙන් අනතුරුදායක ස්ථානවලින් දියනෑමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාව වෙත දැනුම් දුන්නා.