සෑම රෝහලකම ආහාර ලබාදීම සම්බන්ධයෙන් ඒ පුවත..

By Sithumi Oct 07, 2022 06:06 PM GMT
Sithumi

Sithumi

Report

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (07) තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටවනු ඇති. රට තුළ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවක දී මෙම පියවර ගෙන ඇති අතර අදාළ කාර්ය සාධක බලකාය සඳහා සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිට තිබෙනවා.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතයි. මෙයට සමගාමීව 2022 – 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කෙරෙනවා.

මෙහි මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ දිවයිනේ එක් පළාතක් තෝරා ගනිමින් අදාල පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ

. පෝෂණ මාසය සඳහා වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන ඇති අතර, රෝහල්වල ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ද අවධානය යොමු කරමින් කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීමට ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

මෙම වැඩපිළිවෙළට සමගාමීව දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් හරහා අවශ්‍යතා සහිත පවුල් හඳුනා ගනිමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් කාර්යක්ෂම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් ,එහි දී මේ හා සම්බන්ධ කෘෂිකර්ම, වෙළඳ, අධ්‍යාපන හා ධීවර ඇතුළු අනෙකුත් අමාත්‍යාංශයන්හි ඒ්කාබද්ධතාවය ලබාගැනීමටත් තීරණය වී ඇති බවයි පැවසෙන්නේ.