මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉහළ ජාත්‍යන්තරික පැසසුමට...

srilanka health keheliya rabukwella
By Nimal Aug 29, 2021 10:45 AM GMT
Nimal

Nimal

Report


මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ජාත්‍යන්තරික පැසසුමට ලක් වෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක්කළ බවත් මෙයට අමතරව මෙරට ජපන් ,කියුබානු,තානාපතිවරුන් මෙන්ම ඇමරිකානු තානාපතිවරිය හා ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස්වරයාද එය දැඩි ප්‍රසාදයට ලක් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන් "කොවැක්ස් " පහසුම හරහා පරිත්‍යාග ලෙස මෙරටට එන්නත් 100,000 ක් ලබා දීමේ වැඩසටහනට ඊයේ එක්වූ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙන්ම යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරුන් හා ඇමරිකන් තානාපතිවරිය මේ බව සඳහන් කළ බවත් ඇතැම් රටවල්හි එන්නත්කරණයට තිබෙන සූදානම මෙන්ම එහි පසුබිම සැලකීමේදී එම රටවල පවතින තත්වය මත ඒ ඒ රටවලට වෙන්වුණු යම් එන්නත් ප්‍රමාණයක්ද මෙරට වැඩපිළිවෙලෙහි සාධනීය තත්ත්වය සැලකිල්ලට ගනමින් ලබාදීමට හැකිවනු ඇතැයි පෙන්වා දුන් බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය එක් පසෙකින් ධෛර්යයවන්ත කරන අතර තවත් අතකින් ජාත්‍යන්තරික සංවිධාන හා විවිධ රටවල් මෙරටට එන්නත් ලබාදීමේදී එය ප්‍රමුඛ අවධානයකට ගනු ඇතැයිද රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර මෙම ලෝක ප්‍රසාදය හමුවේ යම් යම් දේශපාලන කණ්ඩායම් ඉතා පහත් අයුරින් විවිධ අරමුණු ඔස්සේ එන්නත්කරණ වැඩපිළිවෙළ අප්‍රසාදයට ලක් කිරීමට ක්‍රියා කරන්නේදැයි සැකයක් මතුවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. පසුගිය දිනවල විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණු සිද්ධීන් පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇතැයිද ඒ පිළිබඳව තොරතුරු රැසක් ලැබෙමින් පවතින්නේ යැයිද හෙතෙම පවසයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඇතැම් පිරිස් රණවිරුවන් මෙන්ම එම වැඩපිළිවෙල අධෛර්යමත් කිරීමට විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියා කළ බවත් එනිසා මේ අභියෝගාත්මක මොහොතේද එල්ල වන අභියෝගද අරුමයක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටී. මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කරයි . 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now