මිලියන ගණනක වෛද්‍ය උපකරණ තොගයක් ....?
ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන මොහොතේ රෝගීන්ට ප්‍රතිකාර සදහා රෝහල් පද්ධතියට අත්‍යාවශ්‍ය වන වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සංගමය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේදී පරිත්‍යාග කරනු ලැබීය.
රුපියල් මිලියන 4.6ක් වටිනා මෙම වෛද්‍ය උපකරණ තොගයට නවීනතම හයිෆ්ලෝ ඔක්සිජන් මැෂින් 02ක්, ලීටර් 10 ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 02ක්, ලීටර් 5 ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 06ක් සහ ඔක්සි මීටර්ස් 06ක් ඇතුළු කෝවිඩ් 19 ආසාදිත රෝගීන්ට ඇතිවන ශ්වසන අපහසුතා මගහැරවීමට ප්‍රයෝජනවත්වන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මීට ඇතුළත්විය.
පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම මත නැගෙනහිර පළාතේ සහ දකුණු පළාතේ රෝහල්වලට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි මෙම වෛද්‍ය උපකරණ තොගය ලබාදීමට නියමිතය. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කෝවිඩ් වෛරසය සමග රටේ සෞඛ්‍ය සේවය සටන් කරමින් සිටින මොහොතක ජනතාවගේ ජීවීත බේරාගැනීමට මෙම උපකරණ මනා පිටිවහලක් බැවින් ඒ පිළිබදව රජය වෙනුවෙන් තමන්ගේ ස්තූතිය පුදකරන බවයි.
නැවත වතාවක් ශ්‍රී ලංකාවාසී සහ විදෙස්ගත ශ්‍රී ලාංකික දානපතියන්ට රටේ ජනතාව බේරාගැනීම සදහා උදව් උපකාර කරන්නැයි අමාත්‍යවරිය මෙහිදී ඉල්ලීමක් කළාය.
මීට පෙර තමන් විසින් මෙවැනි ඉල්ලීමක් සිදුකළ බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට එක්වූ ආකාරය කෘතවේදීව සිහිපත් කළ අමාත්‍යවරිය උදාහරණයක් ගෙනහැර දක්වමින් දංකොටුව සහ ලුණුවිල රෝහල් කෝවිඩ් ප්‍රතිකාර කරන රෝහල් බවට පත්කිරීමට පුද්ගලික දානපතියන්ගේ මැදිහත්වීමත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමත් සිදුවූ ආකාරය සිහිපත් කළාය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සංගමයේ ප්‍රධාන ලේකම් මහේෂ් ඩි මෙල්, එහි අධ්‍යක්ෂ රඝුබාලචන්ද්‍රන් යන මහත්වරු එක්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |