නිරෝධායන කාලසීමාවේ 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරනය සදහා මධ්‍යස්ථාන 45ක්......
කොවිඩ් වෛරස ආසාදිතයින් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ සෞඛ්‍ය නිලධාරීන්ට යැයි සංචාරක මාධ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නිවෙස් වල සිටින වෛරස ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු වීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බවට ගම්පහ සෞඛ්‍ය අංශ නිළධාරින් කළ පෙන්වා දීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (21) zoom තාක්ෂණය ඔස්සේ පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දීය.
නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නිර්දේශ වී ඇත්තේ වයස අවුරුදු 3ට වැඩි වයස අවුරුදු 65 ට අඩු බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර නොලබන සහ අවශ්‍ය පහසුකම් සලසමින් ආසාදිතයා ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇති පුද්ගලයෙක් නිවසේ සිටින්නේ නම් පමණි. ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙලක් යුද හමුදාවේ සහාය ඇතුව ආරම්භ කර ඇතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නලින් ආරියරත්න මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
නමුත් සමහර රෝගීන් සිය අවදානම ගැන නොසිතා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ප්‍රතික්ෂේප කිරීම නිසා සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවයකට පත් වේ. නිරෝධායන නීතිය යටතේ මෙවැනි සිදුවීම් වලට මැදිහත් විය හැක්කේ පොලිසියට බව පෙන්වාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අවදානම් සහිත පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පොලිසියේ සහාය අවශ්‍ය කරන බවයි.
එවැනි සිදුවීම් කළමනාකරණය කර ගැනීම සඳහා ඕනෑම මොහොතක පොලිසිය සහාය දැක්වීමට සූදානම් බව ද රැස්වීමට එක් වු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් අවධානය කළහ. නිරෝධායන නීතිය ක්‍රියාත්මක වූ පෙර අවස්ථාවල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් අසලට ම ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ග්‍රාමීය කමිටු හරහා ග්‍රාම සේවා වසම් මට්ටමින් ලබා දීමට තීරණය කෙරිණි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වලට ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබාදීමත් සිදු කෙරේ.
ඇස්ටොසෙනිකා කොවිසීල්ඩ් එන්නත් මාත්‍රා විසිදහසක් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් වී ඇති අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නත් ලබාදීම සිදු කෙරේ. මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවෙන් සියයට 65 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ එන්නත්කරනය නොවූ පුද්ගලයන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එම නිසා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදීම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත් කරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතරින් 25000ක පමණ පිරිසක් තවමත් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව සදුදා සිට අවුරුදු 60 ඉක්මවූ පිරිස එන්නත් කරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයක එන්නත් කරන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති පිහිටා ඇති මහජන සෞඛ්‍ය නිළධාරී බල ප්‍රදේශ 15 ක මධ්‍යස්ථාන 45 ක් ස්ථාපනය කෙරේ. මෙම එන්නත්කරන මධ්‍යස්ථානයකට පැමිණ එන්නත ලබා ගැනීමට නොහැකි වැඩිහිටියන්ට පළාත් පාලන ආයතන සහ පොලිසිය එක්ව ප්‍රවාහන පහසුකම් සැපයේ. එන්නත් කරන මධ්‍යස්ථානයකට පැමිණීම සඳහා කිසිසේත් හැකියාවක් නොමැති වැඩිහිටියන් සඳහා නිවෙස්වලටම ගොස් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය. තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් එළබෙන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිතව ඇති අතර ඉන් කොටසක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |