මිනුවන්ගොඩ කොවිඩ් රෝහලට රුපියල් කෝටියක්....

srilanka health presanna ranatunga
By Nimal Jun 20, 2021 05:27 AM GMT
Nimal

Nimal

Report

 මිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදලක් පරිත්‍යාග කරයි.

මෙම ප්‍රදානය සිදු කළේ සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවයි.

මීට අදාළ චෙක්පත ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පසුගිය දා (18) භාර දුන්නේය.

අදාළ මුදල කොවිඩ් අරමුදලට යොදවා එමගින් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාව වෙනුවෙන් යෙදවීමට නියමිතයි.

මෙම අවස්ථාවට සහභාගී වු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල අවශ්‍යතා සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානය යොමු කළේය. ඒ සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහි දී සහතික වූවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන,ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි, ගම්පහ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ දිලිනි අබේසේකර, මිනුවන්ගොඩ රෝහල් අධ්‍යක්ෂක ජයන්ත අබේරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.