කොන්සියුලර් දෙපාර්තමේන්තුවේ වෙනම කවුළු දෙකක්...
කොන්සියුලර් සේවාවේ කටයුතු පුළුල් කරමින් පූජ්‍ය පක්ෂයට සහ අපනයනකරුවන් සඳහා වෙනමම කවුළු දෙකක් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද පෙරවරුවේ සිය අමාත්‍යංශයේ දී විවෘත කෙරිණි.
අලුතින් ස්ථාපනය කරන ලද මෙම කවුළු දෙක ආරම්භක අවස්ථාවට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගී විය. කොළඹ කොටුව සම්බෝධි විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනය අතරතුර අමාත්‍යවරු දෙපළ කොන්සියුලර් සේවාවේ නව කවුළු දෙක විවෘත කරන ලදී.
දිනපතා දිවයිනේ නන් දෙසින් පැමිණෙන දෙදහසකට ආසන්න පිරිසක් කොන්සියුලර් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අතර ඒ අය අතරින් පූජ්‍ය පක්ෂයට සහ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධවූවන්ට ප්‍රමාදයකින් තොරව සිය කටයුතු ඉටුකර දීමේ අරමුණින් යුතුව කොන්සියුලර් දෙපාර්තමේන්තුවේ මෙම නව කවුළු දෙක ආරම්භ කළ බව එහි අධක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා සඳහන් කළේය.
මෙහිදී අනුශාසනාවක් කළ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රාජ්‍ය සේවය ගමට ගෙනයාමට ජනාධිපතිවරයා ඇතුළු රජය දරන උත්සහයට විදේශ අමාත්‍යංශය සක්‍රීයව දායක වීම අගය කරන බවය. ශ්‍රී ලංකාව ආසියාවේ දියුණු රටක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපේක්ෂා කළ ද ලෝකය පුරා පැතිරෙන කොවිඩ් වසංගතයට ලංකාව ගොදුරු වීම නිසා එම අපේක්ෂාව ඉටු කරගැනීමට නොහැකි වී ඇති බව නාහිමියෝ සිහිපත් කළහ. ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස, කොවිඩ් වසංගතය ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද රට ඉදිරියට ගෙන යෑම සඳහා ජනතාවට පහසුකම් වැඩිකිරීමේ මෙවැනි කාර්යයන් සිදු කිරීම අගය කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ඉතා චාම්ව පැවති මෙම උත්සවයට අමාත්‍යවරු දෙපළ සමඟ විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වුහ.
