ඔබ තරුණයෙක්ද.. එසේනම් මේ රෝගය ඔබට අවදානම් වෙන්නෙ මෙහෙමයි..
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.
ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන් අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ බව ප්‍රකාශ කළා.
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙනවා. ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15 ට වැඩි අය වනවා.
මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ. ඩෙංගු රෝගය යනු වෛරසයක් බැවින් ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකි වන අතර මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවත් එහිදී ප්‍රකාශ කෙරුණු අතර ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළා.