කොළඹ වරායේදී සිව්දෙනෙක් නැවකට ඇතුළුවූ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක්

By Sithumi Apr 11, 2023 02:26 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ වරායට පැමිණ නංගූරුම් ලා තිබූ නැවකට රහසිගතව ඇතුළුවී අමෙරිකාවට යෑමට උත්සාහ කළ යාපනයේ පදිංචි තරුණයින් සිව්දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

 ඔවුන් සිව්දෙනාව නැවට ඇතුළු කිරීම සඳහා වරාය තුළ සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මකව ඇති අතර ඔවුන් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

 කොළඹ වරායට පැමිණ නැංගූරම් ලා තිබූ CMA, CGM පැනම් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පසුගිය 24 වනදා තරුණයන් සිව්දෙනෙකු රහසිගතව ඇතුළු වී තිබුණා. සොලමන් රාජ්‍ය වෙතයි එලෙස ඇතුළුවූ තරුණයන් පිරිස පසුව එහි තිබූ කන්ටේනර් පෙට්ටි අසල සැඟවී සිටියදී අදාළ නෞකාව එදින අලුයම මෙරටින් පිටවගොස් තිබුණේ. 

 දිනක් පමණ එලෙස සැඟවී සිටි තරුණයන් පිරිස අදාළ නෞකාව සූවස් ඇළ හරහා ගමන් කරමින් සිටියදී සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණ තිබෙනවා. තමන්ට ශ්‍රී ලංකාව තුළ රැකියා නොමැති බැවින් තමන් රැකියා සොයා සූවස් ඇළ ආසන්නයේදී නෞකාවෙන් බැස අමෙරිකාව බලාගමන් ගන්නා බවයි.

ඔවුන් පිරිස මෙරට ආරක්ෂක අංශ වෙත භාර කරන ලෙසයි පසුව කපිතාන්වරයා විසින් මෙරට මුහුදු සීමාව හරහා සිංගප්පූරුවට යෑමට නියමිත "ජැක්සන් බේ" නම් එම නෞකාවේ කාර්යමණ්ඩලයට පවසා ඇත්තේ අනතුරුව තරුණයන් පිරිස සූක්ෂම ලෙස ගාලු වරායට ආසන්න මුහුදු සීමාවේදී මෙරට ආගමන විගමන නිලධාරීන් වෙත අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් භාරදී ඇත්තේ ඔවුන් මුහුදට පැන සියදිවි නසාගැනීමට හැකියාවක් තිබීම නිසා බව වාර්තා වනවා.

ඒ අනුව, නාවික හමුදාවේ යාත්‍රාවකින් ගාල්ල වරායේ ආගමන විගමන කාර්යාලයට රැගෙන ආ තරුණයන් පිරිසගෙන් එහි නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සැකකරුවන් යාපනය, වැල්වැටිතුරෙයි හා මුලතිව් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 32ත් අතර පසුවන්නන්. තමන් පසුගිය 23 වනදා හෙට්ටිවීදිය ප්‍රදේශයේ ඇති ලැගුම්හලක් වෙත පැමිණි බවත්, ඒ අතර සිටි තරුණයෙක් පවසා තිබෙනවා. තමන්ට අදාළ තරුණයා මුණ ගැසුනේ එම ලැගුම්හලේදී බවයි අනෙක් තිදෙනා පවසා ඇත්තේ.

මොවුන් අතර සිටි අයෙක් සිංගප්පූරුවේ සිටින පුද්ගලයෙකු විසින් විදෙස් රැකියා ලබාදෙන බව පවසා කොළඹට ගෙන්වා ඇති බවත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. තමන් කොළඹ වරායේ ඉංජිනේරු සේවා සපයන ආයතනයකින් වරායට ඇතුළුවීමට අවශ්‍ය අවසර පත්‍ර ලබාගත් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ . ඒ අනුව, පසුගිය 24 වනදා පිරිස කොළඹ වරායේ විමලධර්ම ගේට්ටුවෙන් අලුයම 1ට පමණ ඇතුළු වී තිබෙනව. එම අවස්ථාවේදී පැමිණි මෝටර් රථයකින් ඔවුන් සිව්දෙනා නංවාගෙන වරායේ දෙවැනි ගේට්ටුව අසලට ගොස් බස්සවා ඇති බව ඔවුන්ගෙන් ආගමන විගමන නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.

එහිදී දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින් ද අනෙක් දෙදෙනාගෙන් රුපියල් අසූදහසක් සහ රුපියල් පනස්දහසක් බැගින් ද අදාළ කාර් රථයේ පැමිණි පුද්ගලයා ලබාගෙන තිබෙනවා. පාගමනින් ගොස් දෙවැනි ගේට්ටුව පසුකරන ලෙසයි අනතුරුව ඔවුන්ට පවසා ඇත්තේ. ඔවුන් දෙවැනි ගේට්ටුව පසුකරනවාත් සමග නැවත වතාවක් අදාළ මෝටර්  රථයෙන් පැමිණි පුද්ගලයා ඔවුන් සිව්දෙනාව ඊට නංවාගෙන අදාළ නැවට ඇතුළුවන පඩිපෙල අසලටම ගෙනැවිත් බස්සවා ඇති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන්ව ගාල්ල වරාය පොලීසිය වෙත භාරදුන්න. ඒ අනුව ඔවුන්ව අද ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙය කලක පටන් මෙරට තුළ ක්‍රියාත්මක වී ඇති පුළුල් මිනිස් ජාවාරමක් බැවින් මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.