නීතිවිරෝධී ලෙස ගබ්සා සිදුකළ කොස්තාපල් කොටුවෙයි
අධික මුදලක් ලබාගෙන නීතිවිරෝධී ලෙස ගර්භනී කාන්තාවන් ගබ්සාවන්ට ලක්කිරීමේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකු හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසනවා.
ඔහුට කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති බවයි සඳහන් වන්නේ එමෙන්ම සැකකරු සන්තකයේ තිබී ගබ්සා සිදුකිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන පෙති වර්ගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන රියදුරෙක් බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ විවිධ අතවරයට පත්ව ගර්භනී වූ කාන්තාවන් ඉලක්ක කරගෙන සැකකරු මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් තිබූ බවයි. සැකකරුගේ දුරකථන අංකයක් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකායට ලැබී ඇති අතර ඒ අනුව සැකකරුව නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව එම ඒකකයේ නිලධාරියෙක් සිය පෙම්වතියට දරු ගැබක් හටගෙන ඇති බවත් ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින තමන්ට පිහිට වන ලෙස සැකකරුගෙන් ඉල්ලා සිට ඇතැයි වාර්තා වුණා.
එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ සැකකරු ඒ සඳහා රුපියල් තිස් දහසක මුදලක් වැයවන බවත් හොරණ ප්‍රදේශයේ නවාතැන්පොළකදී ගබ්සාව සිදුකිරීම සඳහා පෙම්වතිය කැටිව පොකුණුවිට හංදියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා.
එම ජාවාරම සම්බන්ධයෙන් අදාළ තොරතුරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම නිලධාරියා සහ නිලධාරිනියක් පෙම්වතුන් ලෙස පොකුණුවිට හංදියේ රැඳී සිටියදී සැකකරු මෝටර් රථයකින් පැමිණ ඔවුන් දෙදෙනාව නංවාගෙන හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් තිබූණා.
එහිදී සැඟවී සිටි පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.