අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි සිට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිත අතර, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබෙනවා.
මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද, අවදානමට ලක්වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වනදා දක්වාද ලබාදීමට නියමිතව ඇති අතර දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000.00 බැගින් 2023 ජූලි 01 වනදා සිට වසර තුනක කාලයක් ලබාදීමට නියමිතයි
. දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ලබනවා
. සුබසාධක ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබි තිබෙන අයදුම්පත් සංඛ්‍යාව 3,712,096 ක් වන මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු තහවුරු කරගැනීමේ ක්‍රියාවලියෙන් 91.5% ක් ඊයේ (08) දිනය වනවිට අවසන් කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 98 % ක් වන අතර පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයෙන් 96.5% ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 96% ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 96% ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 95.5% ක් ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් 3,362,040ක තොරතුරු තහවුරු කරගැනීම මේ වනවිට සිදුකර තිබෙනවා.