GSP ගැන නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම හෙට

By Sithumi May 08, 2023 10:17 AM GMT
Sithumi

Sithumi

Report

යුරෝපා සංගමයේ GSP තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

හෙට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරයේ දී එලෙස සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව 2024 ජනවාරි 1 වැනි දින සිට ඉදිරි වසර 10ක කාලය සඳහා බලපැවැත්වෙන 2024 – 2033 සඳහා සම්මත කිරීමට නියමිත යුරෝපා සංගමයේ GSP රෙගුලාසියේ නව චක්‍රය පිළිබඳ තොරතුරු යුරෝපා සංගමයේ දූත පිරිස විසින් එහිදී විස්තර කෙරෙනු ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ යුරෝපා සංගමයේ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියානු හා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පඕලා පම්පාලොනි මහත්මිය එම රැස්වීමේ සම සභාපතිත්වය දරනවා.

ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ පිහිටුවන ලද ක්‍රියාකාරී කණ්ඩායම් වන පාලනය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, වෙළඳ – ආර්ථික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම හරහා ලද ප්‍රතිඵල පිළිබඳව ද අදාළ රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.