ක්‍රිකට් පිටියේ ගැටුම නිසා දෙදරු පියාට දිවි අහිමි වෙයි
නොරොච්චෝලේ දළුව නිර්මලපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු අමානුෂික ලෙස ලී මුගුරු හා යකඩ පොලුවලින් පහර දී පසුව තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.
නොරෝච්චෝලේ පොලීසිය පවසන්නේ අද (01) උදෑසන එම ඝාතනය සිදුකර ඇති බවයි. එසේ ඝාතනයට ලක්ව ඇත්තේ නිලාන් ප්‍රියංකර ජයලත් නැමති දළුව නිර්මලපුර පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහු දළුව ප්‍රදේශයේ එළවළු වගා බිම්වල දෛනිකව කුලි පදනමට රැකියාවේ යෙදුන අයෙක්.
ඝාතනයට ලක්වු පුද්ගලයා ඊයේ (30) සවස දළුව ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පුද්ගලයකු සමග ඇතිවු බහින් බස්වීමකින් පසුව ගැටුමක් ඇතිව තිබෙනවා.
ගැටුමෙන් පසු ඊයේ රාත්‍රීයේ මියගිය පුද්ගලයා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුගේ නිවස අසලට ගොස් තිබෙන අතර එහිදී ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුතෙකු එකතු වී ලී මුගුරුවලින් සහ යකඩ පොලුවලින් අමානුෂිකව ලෙස පහර දී පසුව තියුණු ආයුධයකින් කපා දමා ඝාතනය කර තිබෙනවා.
සෑම ඉරු දිනකම දළුව ක්‍රීඩාංගණයේ ක්‍රීකට් ක්‍රීඩා කරන තරුණයින් සමග ඝාතනයට ලක්වු පුද්ගලයා සෙල්ලම් කිරීමට එක්වන බව පැවසෙනවා. ඝාතනයට ලක්වු දෙදරු පියා ද මත්පැන් භාවිතයට හුරු වු අයෙකු බවට ද තොරතුරු වාර්තා වී තිබෙන අතර එසේම ඝාතනයේ ප්‍රධාන සැකකරු ද අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වුවකු බව පොලිස් පරීක්ෂණවලදි හෙළිව තිබෙනවා.
එම ඝාතනය සිදුකළ "පොළඟා" නැමති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන තැනැත්තෙකු බවයි ඝාතනයට ලක්වු පුද්ගලයාගේ බිරිඳ හා පවුගේ ඥාතින් පවසන්නේ. එම සැකකරු පුද්ගලයින් කිහිපදෙනෙකුටම තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති අයෙකු බවත් එම සිද්ධිවලටද අදාළව බන්ධනාගාර ගත ව සිට මෑත කාලයේ දී නැවත නිවසට පැමිණ සිටි අයෙක් බවටත් අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුතා ඇතුළු පිරිස මේ වන විට නිවස අතහැර පළාගොස් ඇති බව පොලීසිය පවසන අතර සිද්ධිය සම්බන්ධව නොරොච්චෝලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කළා.